Wednesday, September 4, 2019

සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

    



සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ කන්දකුඹුරේ ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමඟ දීග යන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය.ඒ අදින් වසර හැට අටකට පමණ පෙර දී ය.මගුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කීපයක් ගතවෙද්දී ය.බේබදුකමත්, සල්ලාල කමත්, මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත් අභාවයට යන ඉපැරණි වලව් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදු වුයේ අවාසනාවන්ත ආකාරයටය. ඇය තුළ පැවැති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳ දමා ගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත.දවස පුරා අධික ලෙස මත්පැන් පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමි වූයේ  අනේකවිධ වධහිංසා පමණි.අලුත විවාහ වූ යුවලක් තුළ ඇති ආදරය සෙනෙහස ඇයට විඳින්නට හැකි වූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැනවැදීම් පහරකෑම් හා හිත් වේදනාවන් ඇයට  නොඅඩුව ලැබුණි .
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාට වත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේදී ඇය බියට පත් කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම  ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපි නෝනාට මෙය  මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරි මතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා  යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය.ඒ සියල්ලටම වඩා මත් වතුරින් විකෘති වූ මනසකින් හෙබි සිදු ආදර හැඟීමක් නොමැති මිනිසුන්ගේ පීඩාකාරී හැසිරීම් රටාව දරා ගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත. සොපි නෝනා ගැබ් ගන්නේ මේ කාලයේදීය. ඒ ඇයගේ බේබදු සැමියා ගෙන් මය.  එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේදී ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරු වූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ඇගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි.  එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාර කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.මේ සියලු සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහි ද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. 
 යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවෙකුට වඩා එම දරුවා තමාට සිදුවූ බලහත්කාරකමකින් උපන් දරුවා යන හැඟීම ඇය තුළ විය.ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලටම  දැඩි ලෙස වෛර කළාය.කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප්‍රසූතිය  සිදුවීම නියමිත කාලයට පැමිණියේය.ඇයට විළිරුදාව සෑදෙන මොහොතේ ද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය.ඉනුත් නොනැනවති වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුවත් නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප්‍රමාද බව හඟවමින් ඒ වන විටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර කොතකුත් ප්‍රතිකාර කළද සොපි නෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැගෙන ගියේ මෙතෙක් සිය දියණිය විදි දුක් කරදර සියල්ල ඔවුන්ට මල ගෙදරදීම දැනගැනීමට ලැබීමත් සමගය.සොපිනෝනා මියගොස් ගෙවී ගියේ තුන් මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරි පදිංචිව සිටියේ කන්දකුඹුරට ආසන්න දවුල්දෙන වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසු වූවාය.එක් දිනක් හවස 6 ට පමණ ඔවුන්ගේ  නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුනි.නිවසේ කිසිවකුත් උත්තර දුන්නේද නැත.මද වේලාවක් නිහඩව  සිටිමින්  නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිකලකවත් බලාපොරොත්තු නොවූ දෙයකි.දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කර සැනින් දුටු ඒදසුනින් ශ්‍රියාලතා දැඩි ලෙස බියට පත් වූවාය .ඇයට  ඉබේටම මෙන් කෑ ගැසුණි.පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටු විට ඇය තව තවත් බියට පත්වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය ඒ සැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.අසල්වැසියන් ඇය රෝහල් ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරු ගැබ  පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේ දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවය. ඒ ආකාරයට  සොපිනෝනා සිය සැමියාගේ  සහෝදරරියගෙන් ඇරඹූ පළිගැනීම අද දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකු මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. සියලු දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයකින් කටයුතු කළාය.සොපිනෝනා මිය යන විට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය.සොපිනෝනාගේ මරණයත් සමඟ දිගින් දිගටම කන්දකුඹුර සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරා ගැනීමේ ප්‍රධාන අරමුණු ද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය.
සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා සේවිකාව මෙන්ම සැමියාගේ මව ද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර එය භූත බංගලාවක් ඇයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියගේ හඬ  නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ  වැඩිමහල් සොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මිය ගොස් වසර 30කට පමණ පසුවය.ඔහු සේවය කලේ ප්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයෙකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳ ද එම ආයතනයේ ම උසස් තනතුරක් දරන්නියකි .විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසාය.අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවා ය.ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනී. පොලු පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුවද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය. .ඒ සැනින්ම අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොර ද වේගයෙන් ඇර ගේට්ටුව දෙසට දිව ගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එන විට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි.එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත .සොපිනෝනා සැමියාගෙන් විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී ,පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි .


අද වන තෙක්ම ගමේ කිසිම ගැබ්ගත් කාන්තාවක් එම වලව්ව ඉදිරියෙන් යාම සිදු කරන්නේ නැත. ඔවුන්ගේ පරපුරේ අවසානය එසේ දුටුවද ගමේ සිටින අනෙකුත් ගැබ් ගත් කාන්තාවන් ගෙන් ඒ පලිය ගනී  යන මතය ගම්වැසියන් තුළ තදින්ම තදින් ම කිඳාබැස තිබේ. ගම හරහා යන ප්‍රධාන පාර වලව්ව ඉදිරියෙන් යෙදී ඇති අතර ගමේ කාන්තාවක් ගැබ් ගත් පසු ගමන් බිමන් යාම සඳහා වලව්ව මං හැර යාමට ඇති විකල්ප මාර්ගයක් භාවිතා කරනු ලබයි. තවද මෙම ගමෙහි ගම්වැසියන් දරු ප්‍රසූතියක් ලැබීමට සිටින සෑම කාන්තාවක් හටම තොයිලයක් කර දානයක් දීම එම සිදු වීමෙන් පසුව ගමේ කරන සුවිශේෂ කාර්යකි . ගම්වැසියන්ගේ විශ්වාසය වන්නේ එම පරපුරේ අවසානය සිද්ධ වී ඇති මුත් ගමේ සිටින ගැබිණි  කාන්තාවන්ට එම ශාපය වැදිය හැකි බවයි .එම නිසා එදා පටන්ම ගමේ දරු ප්‍රසූතියකට සූදානම් වන සෑම කාන්තාවකටම තොයිලයක් කර දානයක් දීම එම ගමට ම ආවේණික වූ විදියකි .නැතිනම් සොපිනෝනාගේ ආත්මයෙන් තමාගේ ගැබ්ගත් ගත් දරු ගැබට කරදරයක් වේ යැයි ඔවුන්  දැඩි සේ සිතයි .එම සිදුවීම  සිදු වී දැනට වසර 68ක් පමණ වුවද මෙම චාරිත්‍ර විධි ඇදහීමට පටන් අරගෙන දැනට අවුරුදු 25ක් පමණ වේ .කන්දෙකුඹුර යැයි නම සඳහන් ඒ ගමට වර්තමානය වන විට සොපී ගම යනුවෙන් නම් පටබැඳී ඇත්තේ ද එම සිද්ධිය නිසා ය.








1 comment:

සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

     සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ ...