Wednesday, September 4, 2019

සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

    



සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ කන්දකුඹුරේ ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමඟ දීග යන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය.ඒ අදින් වසර හැට අටකට පමණ පෙර දී ය.මගුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කීපයක් ගතවෙද්දී ය.බේබදුකමත්, සල්ලාල කමත්, මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත් අභාවයට යන ඉපැරණි වලව් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදු වුයේ අවාසනාවන්ත ආකාරයටය. ඇය තුළ පැවැති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳ දමා ගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත.දවස පුරා අධික ලෙස මත්පැන් පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමි වූයේ  අනේකවිධ වධහිංසා පමණි.අලුත විවාහ වූ යුවලක් තුළ ඇති ආදරය සෙනෙහස ඇයට විඳින්නට හැකි වූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැනවැදීම් පහරකෑම් හා හිත් වේදනාවන් ඇයට  නොඅඩුව ලැබුණි .
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාට වත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේදී ඇය බියට පත් කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම  ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපි නෝනාට මෙය  මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරි මතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා  යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය.ඒ සියල්ලටම වඩා මත් වතුරින් විකෘති වූ මනසකින් හෙබි සිදු ආදර හැඟීමක් නොමැති මිනිසුන්ගේ පීඩාකාරී හැසිරීම් රටාව දරා ගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත. සොපි නෝනා ගැබ් ගන්නේ මේ කාලයේදීය. ඒ ඇයගේ බේබදු සැමියා ගෙන් මය.  එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේදී ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරු වූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ඇගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි.  එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාර කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.මේ සියලු සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහි ද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. 
 යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවෙකුට වඩා එම දරුවා තමාට සිදුවූ බලහත්කාරකමකින් උපන් දරුවා යන හැඟීම ඇය තුළ විය.ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලටම  දැඩි ලෙස වෛර කළාය.කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප්‍රසූතිය  සිදුවීම නියමිත කාලයට පැමිණියේය.ඇයට විළිරුදාව සෑදෙන මොහොතේ ද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය.ඉනුත් නොනැනවති වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුවත් නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප්‍රමාද බව හඟවමින් ඒ වන විටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර කොතකුත් ප්‍රතිකාර කළද සොපි නෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැගෙන ගියේ මෙතෙක් සිය දියණිය විදි දුක් කරදර සියල්ල ඔවුන්ට මල ගෙදරදීම දැනගැනීමට ලැබීමත් සමගය.සොපිනෝනා මියගොස් ගෙවී ගියේ තුන් මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරි පදිංචිව සිටියේ කන්දකුඹුරට ආසන්න දවුල්දෙන වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසු වූවාය.එක් දිනක් හවස 6 ට පමණ ඔවුන්ගේ  නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුනි.නිවසේ කිසිවකුත් උත්තර දුන්නේද නැත.මද වේලාවක් නිහඩව  සිටිමින්  නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිකලකවත් බලාපොරොත්තු නොවූ දෙයකි.දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කර සැනින් දුටු ඒදසුනින් ශ්‍රියාලතා දැඩි ලෙස බියට පත් වූවාය .ඇයට  ඉබේටම මෙන් කෑ ගැසුණි.පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටු විට ඇය තව තවත් බියට පත්වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය ඒ සැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.අසල්වැසියන් ඇය රෝහල් ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරු ගැබ  පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේ දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවය. ඒ ආකාරයට  සොපිනෝනා සිය සැමියාගේ  සහෝදරරියගෙන් ඇරඹූ පළිගැනීම අද දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකු මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. සියලු දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයකින් කටයුතු කළාය.සොපිනෝනා මිය යන විට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය.සොපිනෝනාගේ මරණයත් සමඟ දිගින් දිගටම කන්දකුඹුර සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරා ගැනීමේ ප්‍රධාන අරමුණු ද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය.
සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා සේවිකාව මෙන්ම සැමියාගේ මව ද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර එය භූත බංගලාවක් ඇයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියගේ හඬ  නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ  වැඩිමහල් සොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මිය ගොස් වසර 30කට පමණ පසුවය.ඔහු සේවය කලේ ප්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයෙකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳ ද එම ආයතනයේ ම උසස් තනතුරක් දරන්නියකි .විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසාය.අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවා ය.ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනී. පොලු පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුවද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය. .ඒ සැනින්ම අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොර ද වේගයෙන් ඇර ගේට්ටුව දෙසට දිව ගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එන විට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි.එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත .සොපිනෝනා සැමියාගෙන් විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී ,පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි .


අද වන තෙක්ම ගමේ කිසිම ගැබ්ගත් කාන්තාවක් එම වලව්ව ඉදිරියෙන් යාම සිදු කරන්නේ නැත. ඔවුන්ගේ පරපුරේ අවසානය එසේ දුටුවද ගමේ සිටින අනෙකුත් ගැබ් ගත් කාන්තාවන් ගෙන් ඒ පලිය ගනී  යන මතය ගම්වැසියන් තුළ තදින්ම තදින් ම කිඳාබැස තිබේ. ගම හරහා යන ප්‍රධාන පාර වලව්ව ඉදිරියෙන් යෙදී ඇති අතර ගමේ කාන්තාවක් ගැබ් ගත් පසු ගමන් බිමන් යාම සඳහා වලව්ව මං හැර යාමට ඇති විකල්ප මාර්ගයක් භාවිතා කරනු ලබයි. තවද මෙම ගමෙහි ගම්වැසියන් දරු ප්‍රසූතියක් ලැබීමට සිටින සෑම කාන්තාවක් හටම තොයිලයක් කර දානයක් දීම එම සිදු වීමෙන් පසුව ගමේ කරන සුවිශේෂ කාර්යකි . ගම්වැසියන්ගේ විශ්වාසය වන්නේ එම පරපුරේ අවසානය සිද්ධ වී ඇති මුත් ගමේ සිටින ගැබිණි  කාන්තාවන්ට එම ශාපය වැදිය හැකි බවයි .එම නිසා එදා පටන්ම ගමේ දරු ප්‍රසූතියකට සූදානම් වන සෑම කාන්තාවකටම තොයිලයක් කර දානයක් දීම එම ගමට ම ආවේණික වූ විදියකි .නැතිනම් සොපිනෝනාගේ ආත්මයෙන් තමාගේ ගැබ්ගත් ගත් දරු ගැබට කරදරයක් වේ යැයි ඔවුන්  දැඩි සේ සිතයි .එම සිදුවීම  සිදු වී දැනට වසර 68ක් පමණ වුවද මෙම චාරිත්‍ර විධි ඇදහීමට පටන් අරගෙන දැනට අවුරුදු 25ක් පමණ වේ .කන්දෙකුඹුර යැයි නම සඳහන් ඒ ගමට වර්තමානය වන විට සොපී ගම යනුවෙන් නම් පටබැඳී ඇත්තේ ද එම සිද්ධිය නිසා ය.








Wednesday, July 31, 2019

කවිය ගීතය යනු හුදෙක්ම රචකයාගේ ආත්ම ප්‍රකාශනයක් නොව අනුභූතිය පොදු සමාජ යතාර්තයක් වූ සර්වසාදාරන සමීකරනයකි.


මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
හෙට රත්නශ්‍රීයන් වැලි කතරේ අපිට ගීයක අරුත පහදා දෙන්නට ලේන්ඛාන් වීදියෙන් නික්මෙන විට එසේ කියන්නට හේමමාලියක් ජීවතුන් අතර නැත. රජරට සේවයෙන් දුශ්කර පළාතකට මාරු කළ කපුගේ එදා ලයාන්විතව එසේ බිරිඳට කියා නික්මුනත් අද ප්‍රේමා කපුගේට ඒ ආදරයද අපිට ඒ මධුර ස්වරයද සදාකල්ම අහිමිව ගොස් අවසන්‍ ය. නමුත් නිර්මාණ රසය සදාතනිකය.
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
එදා තෙල්ලඹුරේ පාසලින් දුශ්කර ගමක සේවයට යන මොහොතේ රත්නශ්‍රී විඳි සංතාපය අඹු දරුවන්ගෙන් මිදීමේ දුක ඔබද මමද අනේක වාරයක් කටුනායක වෙන්වයාමේ වීදුරු ද්වාරයෙන් එපිට මෙපිට සිට විඳින්නට ඇත.
වැලී කතරේ කුළී නිවසට ඔව්න් කැඳවන් එන්නට අප ආස වුවත් ආර්ථිකය හැමෝටම හැඟීම් සංතෘප්ත කිරීමේ පහසු මාධ්‍යක් නොවිය හැක. එසේ වුවත් මේ විශඝෝර සර්ප විමනක් බඳු කර්කෂ පොළවේ ඔව්න්ටද කුඹුසක් පරාටයක් කවා ගිනි ගහන අව්වේ දුක් විඳීමට සා පැටව් වැනි දරුවන් රැගෙන ඒ මට අපට සිත් නොදිය හැක.
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
කවිය ගීතය යනු හුදෙක්ම රචකයාගේ ආත්ම ප්‍රකාශනයක් නොව අනුභූතිය පොදු සමාජ යතාර්තයක් වූ සර්වසාදාරන කරනයකි. .
නුඹ නොදී එතර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ
කැපකිරීම් හුදෙක්ම ප්‍රියයන්ගේ අබිවෘද්ධිය සඳහාය. ඒකාකාරී රට රැකියාවේ කාන්සිය තනිකම ආදරය රාගය විරහව සියල්ල අඟල් පහලොවක පාරිගනක තිරයකින් හුවමාරු වීම එකම දෛනික වෙනසයි. රත්නශ්‍රීයන් කපුගේ සිහිනෙන් දුටු බිරඳ skype ඇමතුමකින් දැකීමට හැකිවීම හැර වෙනයම් වෙනසක් ඔව්න්ගේ අතීත හෝ අපගේ වර්ථමාන අත්දැකීමේ තිබේද...?
වෙස්සන්තර කතාවේ මෙන්ම අපද වංකගිරියක ගමන් කරමින් සිටින්නෙමු.ඒ වංක ගිරියේ විවේකී ඉසිඹුවක අපි එකතු වෙමු, සොඳුරු ගී රස විඳින්නට හෝ රත්නශ්‍රීයන්ගෙන් එහි අරුථ ලිහා ගැනීමට නොව කලාව නුරූපනය කරන සැබෑ ජීවන යතාර්ථයන් ගේ සුවඳ විඳින්නට. ඒකාකාරී ජීවන රටාව වෙනස් කර වියූ පැදුරක සුරම්‍ය වූ ධ්‍යානයකට සමවදින්නට..!

Monday, July 29, 2019

අද ඇසෙන්නේ ජනපි‍්‍රය ගීතවලට වඩා ප්‍රසිද්ධ ගීත. ඒ ඇයි?

 වර්තමානයේ ඇසෙනගීතඅපි ඒවා ගැන බලන්න ඕනෙ කාලීන සමාජයත් එක්ක. විශේෂයෙන් එදා අපි සිංහල ගීතය කියලා කතා කරන විට එහි සීමාව කොතැන ද කියලා හඳුනාගෙන කතා කළ යුතුයි. අපේ බහුතරයක් විචාරකයෝ සිංහල ගීතය ගැන කතා කරන විට වරද්දා ගන්නවා. අපේ ලාංකීය ඉතිහාසයේ ගීතය සීගිරි ගීය දක්වා දිව යනවා. පෙරදිග සාහිත්‍ය ගත්තොත් රිග්වේදය දක්වා දිව යනවා. ඒ ගීත සාහිත්‍යය පිළිබඳවද අපි කතා කරන්නෙ එසේත් නැත්නම් ගුවන් විදුලි ගීත සාහිත්‍යය පිළිබඳවද අපි කතා කරන්නෙ කියන නිර්ණය අපි කතාවට කලින් ඇතිකර ගන්න ඕනේ. ගුවන්විදුලිය හරහා ආ ගීත සාහිත්‍ය බිහිවෙන්නෙ ගුවන්විදුලිය ඇතිවූවාට පසුව. විශේෂයෙන් පනහෙ දශකයේදී අපි දකින්නෙ සිංහල ගීතය කියලා හින්දි තනුවලට ලියපු ගීත.
මුලින්ම මෙයට කිව්වෙ තනුවට වචන දානවා කියලා. ඊට පසුව තව ටිකක් ගීතය සංවර්ධනය වන විට අපි දකිනවා. හින්දි තනුවලට සිංහල වචන දැම්මා. ඒ තුළත් හොඳ අදහසක් ඇතුළත් වන විදියට ඒ දේ කළා. අනතුරුව අපි ස්වාධීන තනු, ස්වාධීන නිර්මාණ යුගයක් හැටියට ගීතය දකිනවා. මේ ආකාරයට ඓතිහාසිකව ගීතයේ කිසියම් වූ වර්ධනීය අවස්ථාවක් අපි දකිනවා. ඉන් පසු හැත්තෑව දශකය ගීතයේ ස්වර්ණමය අවධිය ලෙස සාකච්ඡා කෙරෙනවා. මෙම ගීත අධ්‍යනයේ පහසුව සඳහා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉන් පළමුවැන්න ගීතය යන්න සමාජයට ගුණ අරුතින් අර්ථවත් වෙනසක් ඇති කළ හැකි මිනිසුන්ගේ මානසික බුද්ධිය වර්ධනය කරන සංකල්පයක්ය කියන අදහසින් ගීත ලියන පිරිසයි.
එයින් කියැවෙන්නේ ගීතය කියලා කියන්නෙ ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර වීම දක්වා මිනිසාගේ බුද්ධි වර්ධනයට හේතු භූත වන චර්යාමය වෙනසකට හේතුවන සාහිත්‍යාංගයක්ය ගීතය කියන්නේ කියන අදහසින් ගීත ලියන පිරිසයි. දෙවැන්න ගීතය කියලා කියන්නෙ එතරම් සාහිත්‍යාත්මක වශයෙන් වැදගත්කමක් නැති ඒ ඒ අවස්ථාවලදී මානසික සතුට ඇතිකර ගැනීම සඳහා හුදෙක් නැටීම, ගැයීම, වැයීම පමණක් අරමුණු කරගෙන ගීතය පාවිච්චි කරන්න ඕනෑය යන හැඟීමෙන් ගීත ලියන පිරිසයි. අද ඇහෙන සමහර ගීතවලට කියන්නෙ ආනන්දයෙන් මරදානට ගිහිල්ලා ඉවරයි කියලා. එය ප්‍රඥාව දක්වා යන්නෙ නෑ. ඒවා එදාට සාපේක්‍ෂව එදත් මෙදාට සාපේක්‍ෂව මෙදත් තියෙනවා. එතකොට එදත් හොඳ නරක පිළිබඳ ගැටුමක් තිබුණා.
අදත් හොඳ නරක පිළිබඳ ගැටුමක් තියෙනවා. ඒ ගැටුම බුද්ධ කාලෙත් තිබුණා. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම හොඳ සහ නරක පිළිබඳ ගැටුම තියෙනවා. ගීතය සම්බන්ධයෙන් ද එය එලෙසමයි. ඒ නිසා වර්තමානයේදී හොඳ ගීත බිහිවෙනවා. හොඳ ගීත ගායනා කරනවා. ඒ වුණාට ගීතය කියන එකේ මුලින් සඳහන් කළ පළමුවැනි අර්ථයෙන් ගීත ලියන්නෙ තරමක් දැනුම් තේරුම් තියෙන පරිනත බවක් තියෙන ගීත රචකයෝ. ඒ වගේම නැටීම, උඩ පැනීම යන සංකල්ප ඔස්සේ ගීත ලියන රචකයෝ ගත්තාම ඒ අය ඉන්නෙ ගොඩක් පහළ මට්ටමක. එය ගීතය පිළිබඳ පර්යේෂණයක යෙදෙන කොට පේනවා. මගේ මේ අලුත් ග්‍රන්ථයට මේ අංශ දෙකේම ගීත ඇතුළත් වෙලා තියෙනවා.
නමුත් මෙහි සිංහල ගීතයේ ජනපි‍්‍රය හා ප්‍රසිද්ධ ලක්‍ෂණ නමින් පරිච්ඡේදයක් තියෙනවා. එහි ජනපි‍්‍රයත්වය හා ප්‍රසිද්ධිය කියන්නෙ දෙකක් යන්න පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. ජනපි‍්‍රයත්වයට මම දෙන අර්ථය තමා රටට ප්‍රයෝජනවත් වන රටේ මිනිසුන් පොදුවේ රස විඳින සමාජ හානියක් නොවන ගීත යන්නයි. මේ ජනපි‍්‍රය ගීත ශත වර්ෂාධික කාලයක් මිනිස් මනසේ තියෙනවා. අනිත්‍යතාවයට සියල්ල යටයි. නමුත් අනිත්‍යතාවයට යටත්ව ජනපි‍්‍රය ගීතයක් කිව්වාම ගොඩක් කල් පවතිනවා. එයට එක් උදාහරණයක් “සිංහල ගීතය සහ අපේ සංස්කෘතිය” ග්‍රන්ථයෙන් උපුටා දක්වනවා නම්,
“කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට ම අගී”
මෙය ප්‍රේම ගීතයක්. නමුත් ඒ ප්‍රේම ගීතයට වස්තු විෂය සපයන්නේ බෞද්ධ ගුණ අරුතෙන්. ඒ බෞද්ධ ශික්ෂණය ලබපු මේ කලාවැව කියන සංකල්පය යොදාගෙන ලියූ ඒ ගීතය ජනපි‍්‍රය ගීතයක්. ප්‍රසිද්ධ ගීත ඒ වාගේ කාලාන්තරයක් පවතින්නේ නෑ. ඒ සඳහාත් උදාහරණයක් මේ ග්‍රන්ථයෙන්ම දක්වන්න පුළුවන්.
“නාන තොටේදී ඉඟි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බඳින්න ද අපි කෝමා
හීන හැඩයි උඹ මට ගේනා”
මේ ගීත ඇසූ ගමන්ම අපේ හිතට එන්නේ බැඳපු ගෑනුන්ට වෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කරන පිරිමි ගැන. මෙය සමාජයට කොච්චර වැදගත් ද කියන මතයේ ඉඳලා තමා අපි එම ගීතය විවේචනය කරන්නෙ. ඒවාට අපි කියනවා පහත් රුචිකත්වය දනවන ගීත කියලා. සාමාන්‍යයෙන් සමාජයක් ගත් විට සමාජයේ පොදු මතය වන්නේ කාලා බීලා නටමු ගයමු කියන එක. නමුත් දැනුම් තේරුම් තියෙන පුද්ගලයො ඊට වඩා ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ දෙඅංශයටම සම්බන්ධ ගීත මගේ මේ පොතෙන් පර්යේෂණයට ලක්කෙරෙනවා. 
* අද ඇසෙන්නේ ජනපි‍්‍රය ගීතවලට වඩා ප්‍රසිද්ධ ගීත
ගීතයක් නම් ජනපි‍්‍රය වෙන්න ඕනෙ. ජනපි‍්‍රය ගීතයක් හැම විටම ප්‍රසිද්ධයි. නමුත් ප්‍රසිද්ධ වූ පමණින් එය ජනපි‍්‍රය වෙන්නෙ නෑ. ප්‍රසිද්ධ වූ හැම දේම ජනපි‍්‍රය මානසිකත්වයට ගන්නෙ නෑ. මම කියන්නෙ සාහිත්‍යය රුව ගුණ පිරිහුණ වේග රිද්මයට ලියැවුණ බොහෝ ගීත ප්‍රසිද්ධ ගීත. ඒවා එක කාල පරාසයක් නියෝජනය කරනවා. සමහර වෙලාවට සතියක්, මාසයක්, අවුරුද්දක් වගේ ඉතාම කෙටි කාලයක් තමා ප්‍රසිද්ධ ගීත පවතින්නෙ, ප්‍රසිද්ධිය කියලා කියන එක ගන්න එතරම් අපහසු නෑ. අපහසු හොඳ දේ කරලා ප්‍රසිද්ධිය ගන්න. ගීතයේ රුව ගුණ ගත් විට මිනිසුන්ට සරලව තේරෙන ගීතවලට ඔවුන් කියනවා තේරෙනවා කියලා. කිව්ව ගමන්ම තේරෙන්නෙ කලාව නොවේ නිව්ස් (News)කලාව කියන කොටම තේරෙන්නෙ නෑ.
හිතන්න හිතන්න තව තව තේරෙනවා. “හාවා උඳුපියලිය කයි.” ඒක නිව්ස් එකක්. “හාවා උඳුපියලිය කටේ හිටුවයි” ඒක කවියක්. හැබැයි ඔය “කටේ හිටුවයි” කියන එක එක පාරටම තේරෙන්නෙ නෑ. නමුත් ටිකක් හිතන කොට තේරෙනවා. ජනපි‍්‍රය ගීතත් හිතන්න හිතන්න තමා තේරෙන්නෙ. නමුත් ප්‍රසිද්ධ ගීත එවේලේ ඇහුවා එතනින් ඉවරයි. මේ ප්‍රසිද්ධ ගීත ලියන්න එතරම් දැනුමක් අවශ්‍ය නෑ. හරයකුත් නෑ. ප්‍රසිද්ධ ගීත හරියට තණකොළ වගේ. ජනපි‍්‍රය ගීත කිරි බිංදුවක් වගේ. තණකොළ පිට්ටනියක් කන එළදෙන කිරි බිංදුවක් දෙනවා. කිරි බිංදුව ප්‍රමාණාත්මකව අඩු වුණාට ගුණාත්මකව වැඩියි. තණකොළවල ප්‍රමාණය වැඩි වුණාට ගුණාත්මක ගතියක් නෑ. මේ බලන්නෙ මම මිනිසුන් එක්ක. ගවයින් සමඟ නොවේ, ගවයින්ට තණකොළ ගුණයි.
අද ගීත විචාරය කරන විචාරකයො ළඟ මූලධර්ම නෑ. විචාරකයෝ තමන්ගේ මනසින් තමන්ට හොඳයි කියලා හිතෙන දේ හොඳ හැටියටත්, තමන්ට නරකයි කියලා හිතෙන දේ නරක හැටියටත් කියනවා විනා ගීතයක් විචාරය කරන්නෙ මෙන්න මේ මූලධර්ම යටතේ කියලා නෑ. සංගීත ශිල්පියා ගීතයක බලන්නේ සංගීතය පමණයි. පද රචකයා ගීතයක බලන්නේ පද ගැන විතරයි. ගායකයා ගීතයක බලන්නෙ පද ගැන විතරයි. ගීතයේ අරුත බලන්නේ නෑ. මේ අංශ තුනම බලන කෙනා තමා රසිකයා. රසිකයාට මේ හැම එකම වැදගත්. ගීතයක සාරවත් බව හා ගුණවත් බව යන දෙකම තිබිය යුතුයි. ගීතයක් ලියන විට හැම දෙනාටම එහි රසය, දැනුම, අවබෝධය ගැළපෙනවාදැයි සිතිය යුතුයි. ගීතයක් කියන්නේ පොදු රසවින්දන මාධ්‍යයක්.

Thursday, July 25, 2019

නව මාධ්‍ය යනු කුමක්ද ?



            විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වන මනෝ වෘත්තියක් සන්නිවේදනය වේ. සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රය ජනමාධ්‍ය යන්නටම පොදු වූවක් නොවේ. එය සමාජය තුල සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සඳහා මුද්‍රිත  , විද්‍යර්‍යුත්  නව මාධ්‍ය සොදාගත හැකිය. නමුත් මුද්‍රිත හා විද්‍යයුත් මාධ්‍යවලට සාපේක්ෂව සමාජය තුල වැඩි වශයෙන් වර්ධනය වන මාධ්‍යක් ලෙස නව මාධ්‍ය හදුන්වා දිය හැක. නව මාධ්‍ය ඉතා විශාල විෂය පථයක් හිමි කර ගත්තකි. ගෝලීයකරණයත් සමඟ එය ඉදිරියට පැමිණ තිබේ.නව මාධ්‍ය පැරණි මාධ්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාධ්‍යක් බවට පත්ව තිබේ.

          නවීන ලෝකය තුල දුර පිළිබඳ පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල සිද්ධියක් වී ඇත. ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනයන් පවත්වා ගැනීම පහසු වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාව අනෙකුත් මාධ්‍ය අභිබවා ගමන් කර තිබේ.එය නව මාධ්‍ය ලෙස වර්තමාන සමාජය හදුනා ගනී.අන්තර්ජාලය හා බද්ධ වී නව මාධ්‍ය ගොඩනැගී තිබේ.ඕනෑම ස්ථානයක් තුල ඕනෑම අවස්ථාවකදී ඩිජිටල් මෙවලමක් ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව පවතී. ලෝක සංවර්ධනය සදහා අද වන විට නවමාධ්‍ය තුලින් පෙලඹවීමක් ඇති කර තිබේ.
මාධ්‍යක් නව (new) වන්නේ කෙසේද යන්න මුලින්ම විවරණය කලේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයා වන මාර්ෂල් මැක්ලුහන් වේ. ඔහු තම understanding media යන කෘතිය තුල නව මාධ්‍ය පිලිබඳ පහදයි.

              වර්තමානයේ තුල ආර්ථික සමාජයීය සෑම ක්ෂේත්‍රයක් තුලම නව මාධ්‍ය යොදා ගනී. සුනන්ද මහේන්ද්‍රයන්ට අනුව නව මාධ්‍ය සඳහා හුරු වීමට අකමැති බොහෝ දෙනාට අනාගතයේදී බොහෝ දේ අහිමි වන බව පවසයි. මේ තුලින් සමාජයට නව මාධ්‍ය තුලින් වන බලපෑම පහදයි.ලෝක සංවර්ධිත රටවල නව මාධ්‍ය භාවිතය ප්‍රතිශත අතරින් ඉහල මට්ටමක පවතී. 1960 දශකයේදී පරිගණකය විප්ලවීය කලාවන් හා මිශ්‍ර වීම සමඟ වඩාත් ශක්තිමත් මාධ්‍යක් බවට පත් විය. 1980 දශකය තෙක් රූපවාහිනීය ගුවන් විදුලිය යන ජන මාධ්‍යවල විකාශන කටයුතු ඇනලොග් තාක්ෂණය තුලින් සිදු විය.ඩිජිටල් පරිගණක තාක්ෂණය සමඟ වෙනස් තත්ත්වයක් ඇති විය. අද වන විට මේවා වෙනස් වී ඇත. Social media,skype,google glass ආදී නව මුහුණුවරකින් නව මාධ්‍ය වර්ධනය වී ඇත.ජංගම දුරකථනය තුලින් සියල්ල කාර්යක්ෂමව ඉටු කරගන්නට හැකිය.නව මාධ්‍ය අධ්‍යයනය තුල යන්ත්‍ර විද්‍යාව,අර්ධ විද්‍යාව,සංඥා විද්‍යාව, විද්‍යුත් විද්‍යාව යන විෂයන් පිලිබඳ අවධානය යොමු වේ.

              දුර ජය ගැනීම නව මාධ්‍ය භාවිතයේ ක්ෂණික ජයග්‍රහණයකි. නමුත් නව මාධ්‍ය භාවිතය සතු ඩිජිටල් අන්තර්ගතයන් ගැන බොහෝ දෙනා සතු නොදැනුවත්කම වේ. මේ නිසා නව මාධ්‍ය ගැන සමාජ කතිකාවත පුලුල් කල යුතු වේ.

             නව මාධ්‍ය සතුව ක්ෂණික බව, අවම වියදම, සන්නිවේදනයේ පහසුව,කාලය පිරිමැසුම වාසි වීම,අඩු කාලයකදී විශාල ප්‍රමාණයකට ආමන්ත්‍රණය කල හැකිවීම, රැහැන් රහිත මාධ්‍ය තාක්ෂණයේ වර්ධනය ඒතුල සුවිශේෂී ලක්ෂණ වේ

Sunday, July 21, 2019

‌හිතට memoවක්…

මෙච්චර අවුරුදු ගානක තනිකමක් එක්ක
ගෙන්දගම් පොලොවෙ උදේ හවස ඔහේ ඔට්ටුවෙන,
ලෙඩකට දුකකට එකෙක් ලඟ නැතුව
හැමදේම හංගන් තනියම දරාගන්න පුරුදු උන,
ගල් හිතක් එක්ක
උබ කොහොමද මල්ලි ආදරේ කරන්නෙ
තව එකෙක්ට සංවේදි නැති
තෙතමනයක් නැති වේලිච්ච
හිතකින් කොහොමද යකෝ
සෙනෙහසක් එන්නෙ
පිස්සු කෙලින්නෙ නැතුව
ඔය ඉන්න විදිහටම ඉඳල මැරිල පලයං,
තේරුම් ගන්න බැරි
ආදර මගුල්
හිතේ පටලගෙන
විඳවන්නෙ නැතුව

Saturday, July 20, 2019

ආදරේ විතරක් නොකර !


දුක සතුට අතරේ
කවි සිංදු මත්තෙන්
උනුහුම් කෝපි එක්ක
සිනහ කඳුළුත් අරන්
මතක ගොන්නක්
හුවමාරු කරන්
අපි…
ආදරේ විතරක් නොකර !

Friday, July 19, 2019

ජංගම දුරකතනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයන් ගේ විකාශනය ........





වර්තමාන ලෝකයේ පුද්ගලාන්තර සන්නිවේදනයේ ප‍්‍රබල කොටස් කරුවෙක් බවට දුරකතනය පත්ව ඇත. දුරකතනයද ක‍්‍රමයෙන් නවීනත්වයට පත්ව වී අද වන විට අතේ ගෙන යා හැකි  ජංගම දුරකතනය තෙක් එය පරිණාමය වී තිබෙි. ජංගම දුරකතනය හරහා අද මුළු විශ්වයම එකට එක්තැන් කළ හැකි තරමට පුද්ගලාන්තර සන්නිවේදනය වැඩිදියුණු වි තිබෙි.තමා සමිපයේ සිටින පුද්ගලයෙකු හා අදහස් හුවමාරු කර ගැනිමෙන් සෑහිමකට පත් නොවු මිනිසා ඈතක දුරක සිටින අය සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමෙ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය.අද ජංගම දුරකතනය හරහා සාර්ථක ලෙස ඉටුවන්නේ එම අව්‍යශතාවයයි.ජනප‍්‍රිය සංස්කෘතියක් ලොව ඇති කිරිමට පවා සමත් ව තිබෙි.නමුත් අද වන තෙක් පුද්ගලාන්තර සන්නිවේදයට යොදා ගත් ක‍්‍රමෝපායන්ගේ ගමන් මඟ සලකා බැලිමෙදි මානවයාගේ උපත තෙක්ම එය විහිදි යන බව පෙනි යයි.

තොරතුරු හුවමාරුව’තොරතුරු සම්පාදනය යනු අත්‍යවශ්‍යයම ජිවන අංගයකි .සමාජ පරිණාමය සමඟ සංස්කෘතිය වෙනස්විමත්’’එමගින් සන්නිවේදන  ක්ෂේත‍්‍රය වෙනස් වීමත් යන ගතික ලක්ෂණ මානවයින්ගෙන් සැදුම්ලත් සමාජයක දැකිය හැකි ලක්ෂනයකි.මිනිස් පරිනාමයේ මුල් අවධියේ දි කිසියම් තොරතුරක් ගෙන යන්නට ඇත්තේ කෙසේද?ඒ තොරතුරු ගෙන ගිය ආකාරය එමෙන්ම කෙමෙන් කෙමෙන් වෙනස් වු තාක්ෂණික වර්ධනයත් සමඟ එය හැඩ ගැසුණු ආකාරය කෙබදුද? යන්න සොයා බැලිය යුතුය.

කුඩා කණ්ඩායමක් ලෙස සැදි සිටි මිනිසා සන්නිවේදන කාර්යය අවශ්‍ය වන්නට ඇත්තේ මුලික හැසිරිම් ප‍්‍රකාශනය සදහා මෙන්ම මුලික අවශ්‍යතාවන්ට සරිලන පරදි පමණි. භාෂාවක් ක‍්‍රමවත්ව වැඩෙන්නට පෙර හුදු ශබිද උපයෝගි වු බව නිසැකය. මිනිසාද සතුන් මෙන් යම් යම් ශබිද නගන්නට ඇත. පරිසරය ජය ගැනිමත් සමඟ වාචික සන්නිවේදනයේද නැගීමක් ඇති විය.

මානව සන්නිවේදන ඉතිහාසයේ  ප‍්‍රාග් ඓතිහාසික අ වධිය
^pre historical period) හමුවන සන්නිවේදන ක‍්‍රම ශබ්ද සංඥා
^sound signal) ලෙස හදුන්වනු ලැබේ වනාන්තර ගතව සිටි මිනිසා ගින්දර සොයා ගැනිම සමඟ ගින්න මඟින් ඇති කරගත්””දුම්” මගින්ද වනාන්තරයට මැදිව සිටි වර්ගයා අතර සීමිත අදහස් පළ කළේය. දෘෂ්‍ය සංඥා
^visual ) ලෙස හදුන්වන මෙම ප‍්‍රාථමික මාධ්‍ය අතරට ගස්වල අතු කඩා එල්ලීම’ගස්වලට ආයුධ වලින් පහරදි ඇති කරන සලකුණු මගින් ඇති කරනු ලබන සංඥා ආදියද ඇතුලත් වෙයි.සීමිත අදහස් ප‍්‍රමාණයක් ප‍්‍රකාශ වුණු මෙම ප‍්‍රථමික සංඥා සියල්ල වාගේ සොභාදහම ආශි‍්‍රතව බිහි විම නිසා ස්වාභාවික මාධ්‍ය
මුල් කාලයේ ආයතන හා සංවිධාන කොඩියක් යොදාගත් බව
සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වා දෙති
මුල් කාලයේදි රතු ඉන්දියානුවන් පණිවිඩ යැවිම සදහා දුම සහ ගින්දර උපයෝගි කරගත් බව කියවේ.මෙහිදි දුම යොදා ගන්නා පිලිවෙළ අනුව පනිවිඩ වර්ග කරන අතර ගිනිගොඬේ වටප‍්‍රමාණය හා උස අනුව පණිවිඩ අර්ථ කථනය කරනු ලැබේ.මේ ආකාරයට පුද්ගලාන්තර සන්නිවේදන සදහා ප‍්‍රාථමික යුගයේදි යම් යම් දෘශ්‍ය සංඥා උපයෝගි කර ගෙන ඇත.

”කොඩියද” පුද්ගලාන්තර සන්නිවේදනය සදහා යොදා ගත් තවත් දෘශ්‍ය රූපයකි. යන් සෙම්පෝ කොඩි
^semaphore code) නමින් හැදින්වෙන මෙම ක‍්‍රමය අතීතයේ බහුල යොදා ගෙන ඇත.කොඩිය ඔසවන ප‍්‍රමාණය හා කොඩියේ ප‍්‍රමාණය අනුව ඉදිරිපත් කරන අදහස් වල විවිධත්වයක් දක්නට ලැබුණි . දුම’ගින්දර ’කොඩි එසවිම වැනි මාධ්‍යය මගින් සංදේශ යැවිම තවදුරටත් දියුණු වුයේ සංඥා බස නිසි අයුරින් වර්ධනය විමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.නුතන යුගයේදි පාවා තම අනන්‍යයතාවය ප‍්‍රකාශ කිරිමට’ සන්නිවේදනයට’විවිධ රටවල් යොදා ගැනිම මගින් එය මනාව පැහැදිලි වේ.

මේවා ශබ්දයෙන් තොර සන්නිවේදන ක‍්‍රමයන්ය.මානවයාගේ පරිණාමයත් සමග සංඥා බස ඉක්මවා ශබ්දය ආකාරයෙන් පණිවිඩ යැවිමේ ක‍්‍රම පිළිබද සොයන්නට විය.භාෂාව උපත ලැබුවේද එහි ප‍්‍රතිඵල වශයෙනි.මහ වනය මැද ජිවත් වු ප‍්‍රාථමික යුගයේ මිනිසාට සතුන් දඩයම් කරන්නට යාමේදි සිය අදහස් අනෙක් අයට දන්වන්නට අවශ්‍ය වන්නට ඇත. එදිනෙදා මුලික අවශ්‍යතා පිරිමසා ගැනිම මිසක සංකිර්න අවශ්‍යා ඔවුන්ට නොවිය.එ නිසාම හුවමාරු කරගැනිමට අවශ්‍යව තිබු පණිවිඩ ඉතා සීමිත වන්නට ඇත.වනාන්තරයේ අතරමං වු මිනිසා ”හු” හඩ මඟින් සෙසු වර්ගයාට තමන් සිටින පෙදෙස ඇඟවුයේය.


 පරිසරය හා තදින් බැදුණු ඔවුන් තමහිතවතාගේ හඩ ලංව ඇසෙත් එහි ලගා වුයේ ඉවෙන් මෙනි.”හුව” ශබ්ද කරන්නන්ගේ ස්වර තන්තු කම්පනය කරන ආකාරය අනුව ඇති වන හඩෙහි වෙනසක් අන්‍යයන් තේරුම් ගනියි. ශි‍්‍ර ලංකාවේ ගම්බද ප‍්‍රදේශ වල මෙම ක‍්‍රමය බහුලව භාවිතා වු  අතර ඌව ප‍්‍රදේශයට එම නම ලැබි ඇත්තේ එම ප‍්‍රදේශයට ඉහත කි සන්නිවේදන රටාව බහුලව භාවිතා කළ නිසා යැයි ජනවහරේ පවති. ”ඝණ්ඨාරයද” සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයකි.මෙය දුර’ශබ්දය මගින් ජයගෙන  සන්නිවේදනයේ යෙදිම පිණිස යොදාගන්නා ලද්දකි. ආගමික ස්ථාන වල ඝණ්ටාරය බහුලව භාවිත වු අතර දුටු ගැමුණු සද්ධා තිස්ස සහ භාතිය රජු සමයේ ඝණ්ඨා හඩ නැංවිම මගින් පණිවිඩ යැවිම ප‍්‍රචලිතව තිබුණි . ඝණ්ඨාරය හඩ නැංවිම උපදාවයන් හිදි වෙනම ආකාරයකින් ද පොදු ආගමික හෝ වෙනත් අවස්ථාවක වෙනම ආකාරයට ද සිදුවේ

”දුන්නක්” ආධාර කරගෙන පණිවිඩයක් සම්පේ‍්‍රෂණය කිරිමේ ක‍්‍රමයක්ද සාම්ප‍්‍රාදායිකව පැවතුණි. දුණු ශිල්පය පිළිබද හසල දැනුමක් ඇති දුනුවායන් මේ සදහා යොදා ගන්නා ලදි. ලංකාවේද ඉතාමත් ජනප‍්‍රිය පණිවිඩ යැවිමේ මෙවලමක් වු දුන්න පුද්ගලාන්තර සන්නිවේදනයට යොදා ගත්තකි.මේ සදහා නිරන්තරයෙන්ම පණිවිඩ ලබා ගැනිමට හා ඒවාට පිළිතුරු ලබාදිමට නිලධාරින් දෙදෙනෙකු සේවයේ යොදවා තිබුණි. ලංකාවේ ” දෙවනගල” සිට ”බලනගල” කන්දට ඊතල වලින් නිතර පණිවිඩ යවා ඇති බව ඉතිහාසයේ කියවේ
.

පීරු දේශයේ වැසියන් අතර
—^quipu) නුල් ක‍්‍රමය” නමින් පණිවිඩ යැවිමේ ක‍්‍රමයක් පැති තිබේ.මෙහිදි නුල් කීපයක් ගැටගැසිම මගින් එක් ගෝ‍්‍රත‍්‍ර නායකයෙකුවෙත තවත් ගෝ‍්‍රත‍්‍ර නායකයෙක් පණිවිඩයක් යවනු ලබයි.
ඇමරිකාවේ රතු ඉන්දියානු ජාතින් අතර පැවති ”බෙර වැයිමද” තවත් එක් සන්නිවේදන විධි ක‍්‍රමයක් විය.එම බෙර ස ත්ව සම් සහ දැව කදන් උපයෝගී කරගෙන සකස් කරගත් ඒවාය.”ටොම් ටොම්” නමින් හදුන්වනු ලැබු මෙම බෙර වාදන මධ්‍යම අප‍්‍රිකාවේ ද ආදි ගෝ‍්‍රති‍්‍රක සමාජ තුලද දැකිය හැකිය.කැලෑ විදුලි පුවත් නමින්
(jungle telegraph) හැදින්වු මෙය පසු කාලයේදි රාජ නියෝග ’රාජ ආඥා ආදිය නිකුත් කිරිමට යොදා ගන්නා ලදි. සාම්ප‍්‍රදායික ජන සමාජ වලද බෙර ආශි‍්‍රතව සන්නිවේදනය කල දෑ බොහෝය.බෙර’දවුල්’තම්මැටිටම්’උඩැක්කිය මෙන්ම ඝන සුසර ආදි වු නානාවිධ තුර්ය භාණ්ඩ මෙහෙයවා සමාජයේපණිවිඩ බෙදහරිනලදි.

කල බව කියවේ.මධ්‍යම අප‍්‍රිකාවේ ද ආදි ගෝ‍්‍රති‍්‍රක සමාජවල දඩයම් ඒඅනුවඅණබෙර.වදබෙර.මළබෙර’රණබෙර’පුජාබෙර’ලවා කළ සන්නිවේදනයන් දක්නට ලැබුණී.ප‍්‍රාග් බෙෘද්ධයුගයේ සිටම කුමන හෝ රාජ්‍යයික පණිවිඩ හුවමාරුවක් දැනුම් දිමක් කරන ලද්දේ අණබෙර මගිනි.
”මාහැර අනෙක් එළාර රජු නොමරා බෙර හසුරුවා.....”
”නුවර අණබෙර ලවා හාත්පස යොදුනක මිනිසුන් ඓතිහාසික වශයෙන් තත් මුලාශ‍්‍රවලින් ඒබව හෙලිදරව් වේ.19 වන සියවසේ පලමු දශක කීපය දක්වාම අණබෙර සන්නිවේදන ක‍්‍රමවේදය පවත්වාගෙන ආ බවට තොරතුරු ඇත.මෙය ක‍්‍රමයෙන් ලාංකීය ජන ප‍්‍රවාහයෙන් දුරස්ථ බවට පත්විමට පෙලඹ වුයේ1800 පමණ දේශිය මුදාණ ශිල්පය දියුණු විම හේතු කොට ගෙන සාම්ප‍්‍රදායික සන්නිවේදනය අභිබවා විද්‍යුත් සන්නිවේදනය හදුන්වා දිමය.

රූපවාහිනිය’ ගුවන්විදුලිය’දුරකතනය’සෙලියුලරය වැනි සන්නිවේදනය තාක්ෂණයේ රුසක ආරම්භයට පෙර සාම්ප‍්‍රදායික සන්නිවේදනය ලෙස පැවති තාත් කාර්යාවලිය මහත් මෙහෙයක් ඉටුකරන ලද බව සැලකුව මනාය.  සියලු සාම්ප‍්‍රදායික හෝ අධ්‍යයතන විද්‍යුත් සන්නිවේදනයට භාෂණය පදනම් වි ඇති බව විද්‍යුත් සන්නිවේදනයට පදනම් වි ඇති බව විද්වත් මතය වි ඇත.


රටවටා මුහුද හා ධිවර කටයුතු හා මුතු බෙල්ලන් ඇල්ලිම පැවති ලාංකික සමාජයේ බෙල්ලන් උපයෝගි කරගෙන ”සක් පිඹිිම” මගින්ද සන්නිවේදනය කරනු ලබන සතුන්ගේ අං උපයෝගි කරගෙන ”නලාපිඹිිම”මගින්ද පණිවිඩ නිකුත් කරනු ලැබිය.
සද්ධර්මරත්නාවලිය නැමති බෙෘද්ධ කථා සංග‍්‍රහය කියවන අයකුට ඝෝෂක වස්තුව නමැති අපුරු කථා පුවතක්  හමුවේ .ඉතා ගැඹුරු කටහඩක් ඇති එක්තරා මානවයෙකුට රජවාසලේ නිවේදන කටයුතු කිරිමට අවස්ථාවක් ලැබෙන ආකාරය ඉන් කියවේ.පැරණි පර්සියාවේ ජනයාට පණිවිඩ යැවිම සදහා බො හෝ ඇතට හඩ මෙහෙයවිය හැකි ඝෝෂකයන්ගේ සේවය අවශ්‍ය විය. වකුටු කරගන්නා ලද අත් මුවට තබාගත් මිනිසෙක් කතාකල හැකි තවත් මිනිසෙක් ඒ පණිවිඩය ගෙනයයි. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා [කි‍්‍ර.පු356-323]මෙලෙස නිවේදන නිකුත් කිරිමට එක්තරා දිග නලාවක් වැනි උපකරනයක් භාවිත කළ බව කියවේ.එය අද හැදින්වෙන්නේ ”මෙගාපා්න්” යන නමිනි.එහෙත් ඇලෙක්සැන්ඩර් රජ දවස මේ උපකරනයෙන් ලැබුන ප‍්‍රයෝජන අද අප ඊට වඩා ක‍්‍රම විකාශනයෙන් නුතන මෙවලම් ක‍්‍රමයකින් ලබා ගනිමු.නවින මෙගපෝනය විද්‍යුත් උපකරනයක් ලෙස සැලසුම් කිරිමට මුල් වුයේ යට කි නලාව විය යුතුය.මෙගපෝන් යනු ගි‍්‍රක යෙදුමකි.
[magas]යනු මහ 
[phone]යනු හඞ යන්නය.එබැවින් මහා හඩ යන්න එහි තේරුමයි.නවින සන්නිවේදන උපකරණ හදුන්වන බොහෝ වදන් ගි‍්‍රක බසට සම්බන්ධ වේ.
සාම්ප‍්‍රදායික වශයෙන් පැවත එන පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයන් රාශියක් අද පවා අපේ සමාජයේ දක්නට ලැබේ. කටකතා. ඹිපාදුප.කසුකුසු එම සන්නිවේදන ක‍්‍රමයන් අතර වේ


.යම් ආරංචියක් පිලිබද ව තොරතුරක් නිශ්චිතව නොදැන කටින් කට පැතිරවිම කටකතාවලින් සිදු වේ. මෙහි අගට ”ළු” ප‍්‍රත්‍ය බොහෝ විට එක් වේ.එයින් තොරතුරේ සත්‍යාසත්‍ය බව නිශ්චිිත නොවන බව අඟවයි.කටකතා යනු අදටත් වඩා ජනපි‍්‍රය සන්නිවේදන ක‍්‍රමයකි.විටෙක ජනමධ්‍යටත් වඩා ඉක්මනින් කටකතා තුළින් සමාජයේ පණිවිඩ හුවමාරුව සිදු වෙයි.සත්‍යාසත්‍ය බව නිශ්චිත නොවුනද කටකතා සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කල හැකි භාවිතාවක්ද නොවේ. ” ඕපාදුප ”යනු නොවටිනා කතාබහය.ඒවා අර්ථ පුර්ණ බවින් තොරය.අසල්වාසින්ගේ කථා,හැසිරිම් ආදිය  උපහාසයෙන් ගොනු කිරිමක්  ඕපාදුප වඩාත් ප‍්‍රචලිතය.බොහෝ විට මෙහිදි සන්නිවේදකයින් වන්නේ කාන්තාවන් බව නොරහසකි.
යම්පුද්ගලයකු පිළිබද නොයෙක් නොයෙක් ආරංචි ,පවුල් ප‍්‍රශ්න බොහෝ විට  ඕපාදුප වලට මාතෘකා වේ..වාචික පණිවිඩ හුවමාරු ක‍්‍රමයක් ලෙස ගැමියන් අතර ”නොයෙක් ආරංචි සිදුවිම්,පවුල් ප‍්‍රශ්න බොහෝ විට ” ඕපාදුප වඩාත් ප‍්‍රචලිත වුවද  ඕපාදුප කියන්නන් පහත් කොට සැලකීමට ,අවඥාවට ලක්කිරිමටද ගැමියෝ පසුබට නොවුහ
.
”කසුකුසු”යනු මුමුණා කිමයි.අන්අයට නොඇසෙන සේ රහසේ කනට මුමුණා කියන දේ පුද්ගලාන්තර සන්නිවේදනය  තුල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි.දුර්වල ආත්ම ශක්තියක් ඇත්තාවුන් භාවිත කරන තවත් එක් ක‍්‍රමයක් ලෙසට මෙය සැලකිය හැකිය.
පුද්ගලාන්තර සන්නිවේදනයේදි යමෙකු සන්නිවේදන කාර්යයේ නියැලිමට පෙර අනෙක් පුද්ගලයාගේ සමාජපසුබිමට ,සංස්කෘතියට අනුව හැසිරෙනු දක්නට ලැබේ.හිස් වැසුම්ගැලවිම,හිස නැවිම,හුන් තැනින් නැගිටිම,දෙඅත් එකතු කර වැදිම,ආදිය වැඩිහිටිටයන්ට,පුජ්‍ය පක්ෂය සමඟ කරන සන්නිවේදනයේදි දක්නට ලැබෙන හැසිරීම් රටාවන්ය.එම අටස්ථාවන්හිදි භාවිත කරන භාෂාවද ඇතැම් විට ගෞරව බහුමානයෙන් යුක්ත වේ

.ජනජිවිතයේ දක්නට ලැබෙන ”ජනකවියද”එක් සන්නිවේදන ක‍්‍රමයකි.ගැමියන්ගේ ජිවිතයේ වැඩි කාලයක් ගෙවි ගියේ වනාන්තරය ඇසුරේ ජිවිතයටය.දඩයම් කිරිමට අමතරව කැලේ කොටා හේන් වගා කල අතර එය ආරක්ෂා කිරිමට දැවදඩු වැට බැදිමට අමතරව වගාවන් ආරක්ෂා කිරිමටද ඔවුන් විසින් කල යුතු විය.එය ප‍්‍රදේශය විමර්ශනය කිරිමට හා තොරතුරු ප‍්‍රදේශය පුරා සන්නිවේදනය කිරිම සදහා පහසු මාධ්‍ය මධ්‍යස්ථානයක් විය.හේන්වගාව ආරම්භ වීම සමග ගම් පොකුරේ පිරිමින් වැඩිදෙනා හේන්වලය.ගැමියන් පරම්පරාවෙන් පරම්පරාවට තමන් ලද දැනුම පසු පරම්පරාවට හදුන්වා දුන්නේ එම කටයුතු වලට හවුල් කර ගනිමිනි.එදිනෙදා හේන් කෙටිම,කුඹුරු කෙටිම,බඹර කැඩිම වැනි ජිවන වෘත්තින් වල නියලීමේදි දෙවියන් පුදා වැඩ ඇරඹු ඔවුන් පාලුව මහන්සිය හා විඩාව තුනී කරගැනීම තුළින් ජිවිතය ගෙන යාමට ධෛර්ය,සාමුහිකත්වය ලැබිම සදහා ජනකවි ගායනා කලෝය.

මෙම ගායනා පරම්පරාවෙන් පරම්පරාවට ආවකි.එය ජිවිතය නිරූපණය වන ජන සාහිත්‍යයක් ලෙසින්ද විමසිය හැකිය. පුවතක් හෝ සිද්ධියක් එමකවිවල ගැබ් වු අතර ඒවායේ ග‍්‍රාහකයෝ වුයේ බොහෝවිට තවත් එවැනිම හේනක පැල් රකිමින් සිටින ගැමියෙකි.කටහඩ සහ තාලය මාධ්‍ය වු අතර මාධ්‍ය ලද බවට ප‍්‍රතිපෝෂණය වුයේ ඈත පැලකින් හඩනගා කියු එවැනිම කවියකි.මෙම පද්‍යමාධ්‍ය කෙතරම් ප‍්‍රබලව පැවතියේද යත් ප‍්‍රතිපෝෂණයද නිර්මාණාත්මකව ඉදිරිපත් විය.

ඉහත දැක්වු ක‍්‍රමෝපායන් මගින් පණිවිඩ යැවිම සිදුවුවද ඒවා එතරම් සාර්ථක නොවීය.ස්වාභාවික උපද්‍රව මගින් ,දේශගුණික තත්ත්වයන් නිසා මෙන්ම අර්ථබාධක ඇතිවීම නිසාද මෙම ක‍්‍රම මගින් සන්නිවේදනය ඇතැම් විට ගැටලු සහගත විය.පුද්ගලිකත්වය සුරුකෙන ආකාරයට වඩා වේගවත් හා විශ්වසනීයත්වයකින්ද පණිවිඩ යැවිය හැකි තවත් ක‍්‍රමෝපායන් යොදා ගෙන තිබු බව මේ පිලිබදව අධ්‍යනය කිරිමේදි පෙනි යයි.
”සංදේශයක්”යනු මැනවින් දැක්විම ,මනා වු අරුත දනවන පද ලෙසට ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල දක්වා තිබේ.නමුත් සංස්කෘත සාහිත්‍යයේ ආඥාව ,ආරංචිය ලෙසට සන්දේශය හදුන්වා දී තිබේ.පණිවිඩ,සංදේශය
^massage)ගැන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසන්නේ වාචිකව හෝ ජනමාධ්‍යයක් ඔස්සේ හෝ ගා‍්‍රහක ක්ෂේත‍්‍රයක් කරා යොමු කරවනු ලැබු ප‍්‍රකාශනය හෝ  අන්තර්ගත විෂයය ලෙසිනි.
මෙයාකාර වු සංදේශ යැවිම සදහා යොදාගත් ක‍්‍රම3ක් ඉතිහාසයේ දක්නට ලැබේ.එනම්
x    ධාවකයන්
x    පක්ෂින්
x    දුතයන්
ධාවකයන් යොදා ගැනිම යනුවෙන් හදුන්වන්නේ පණිවිඩයක් රුගෙන නියමිත ස්ථානයට දිව යාමයි.කිසියම් සංදේශයක් අභිමත තැනකට යැවිමට බැරිවු නිසා ඇතැම්යුද්ධ පැරදුණු හැටි වාර්තා වි ඇත.කිසියම් තොරතුරක් නිසි ලෙස සංදේශ ගත කිරිමට හැකිවු නිසා යුද්ධ ක‍්‍රමෝපායන් මගින් ජයග‍්‍රහනය කරා යාමට පුලුවන් වු බවද එසේම වාර්තාගතය.වරෙක ඇතෑන්ස් වැසියන් හා පර්සියන් වැසියන් අතර යුද්ධයක් හට ගත්තේය.එහිදි”පිඩිිපඩිස්
(pheideppides)නැමති පුද්ුගලයා ඇතෑන්ස් වැසියන්ට උපකාර ඉල්ලන පණිවිඩයක්ද රුගෙන සැතපුම්150 දිව ගිය බව ගි‍්‍රක සන්නිවේදන ඉතිහාසයෙන් කියවේ.මෙම සිදුවිම සිදුවුයේ කි‍්‍ර.පු 490 දි පමණය.ධාවන ශුරයකු වු ”මැරතන්”නැමැත්තාද එවැනි ධාවකයෙකි.යුද ජයග‍්‍රාහණය සදහන් සංදේශය රුගෙන දිව ගොස් එය බාරදුන් මෙහෙතේ පඩිිපෙළකින් ඇද වැටි ඔහු මිය ගිය බව කියවේ.අද දක්නට ලැබෙන ඒ සිදුවිම ස්මරණය කරන්නකි.

සංදේශහාරකයන් වශයෙන් සතුන් යොදා ගැනිම බොහෝ රටවල චිරාගත සිරිතක්ව පැවති බව පෙනේ.කිසියම් සංදේශයක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමට පරෙවියකු වැනි කුරුල්ලකු යොදා ගන්නා ලද්දේ ඒ කුරුල්ලාට ඉතා සියුම්ඉවක් මෙන්ම දිශාව පිළිබද අපුරු හැඟිමක්ද තිබෙන බැව් විද්‍යාඥයෝ කියති.කි‍්‍ර.පු43 පමණ කාලයේදි පවා පයක සටහනක් ගැටගැසු පරෙවියන් අභිමත  තැනකට යැවිමට සේනාධිපතියන් සමත් වු බව කියවේ.සිරියාව’මෙසපොතේමියාව වැනි දේශයන්හි රජමැදුරු වල මේ සංදේශහාරක ක‍්‍රමය භාවිතා කරන ලදි.

1840 දි හාවේස් පුවත් ඒජන්සිය
HAWES NEW AGNCY) ලන්ඩනයේ සිට පැරිසියට පුවත් යැවිම සදහා පරෙවියන් යොදා ගන්නා ලදි.පළමු ලෝකයුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය යුද්ධ හමුදාවට සම්බන්ධ පරෙවියන් 15 දෙනෙකු සංදේශහාරකයන් ලෙස සේවය කළ බව සදහන් වේ.යුද්ධය අවසාන වන විට මේ සංඛ්‍යාව 20’000 දක්වා නැග තිබුණි  පැරිස්  බර්ලින් නගර දෙක අතර පරෙවියෙකුට පියෑඹීමට ගත වන්නේ පැය2කි.ඒ නගරදෙක අතර ගමන් කළ අශ්වරථයකට පැයනවයක් පමණ ගත විය.මේ නිසා පක්ෂින් යොදා ගැනිම පණිවිඩ යැවිමපැය හතකින් වේගවත් විය
.
සිංහල කාව්‍ය යුගයේ සැළලිහිණියන් ’පරෙවියන්’ගිරවුන්’හංසයින්’වැනි පක්ෂින් සංදේශහාරකයන් ලෙස යොදා ගෙන තිබෙි.පණිවිඩය ගෙන ගිය පක්ෂියා ඉතාමත් වර්ණාවට පාත‍්‍ර කිරිම සිංහල සංදේශ සාහිත්‍යයේ දක්නට ලැබේ.මයුර සංදේශයේ පණිවිඩ ගෙන යන මොණරා එහි මුලින්ම වර්ණනාවට ලක් කර තිබේ.”සැරද මියුරි සද මියුරස නදින් නදනා සදැස් පිල් කැල කැල්මෙන් පිනවන සදැස් දුටුවන්”
මෙහි අර්ථය ”මිහිරි නාදයෙන් සිත සතුටු කරන දුටු අයගේ සිත නෙත සදැස් පිල් සමුහයෙහි කාන්තියෙන් තෘප්තිමත් කරවන්නා වු මයුරේන්ද්‍රෝමය’බොහෝ කාලයක් ජිවත් වව”  යන්නයි.කි‍්‍ර.පු 4 වන සියවසේදි පමණ ලියවුණු මහාභාරතයේ එක් උපාධ්‍යානයක් වන නල දමයන්ති කථා පුවතේ නල කුමරු හා දමයන්ති කුමාරිය අතර සන්නිවේදකයකු ලෙස කි‍්‍රයා කලේ හංසයෙක් බව කියවේ.පක්ෂින් යොදා ගැනිම නිසා යවන්නා වු පණිවිඩය වඩාත් වේගයෙන් ලබා දිම වැදගත් කරුණක් විය.


”දුතයන්”යනු ආගමික නායකයින්ට’රජුට’උසස් නිළධාරින්ට සේවය කළ පණිවිඩ ගෙන යාම සම්බන්ධයෙන් පතකළ නිලධාරින් කොටසකි.රාජ්‍යය තුළදි මෙන්ම පිටතදි ද විශේෂ වරප‍්‍රසාද දුතයෙකු වෙත ලබා දිය යුතු යැයි සම්මතයක් එවකට පැවතින.දුතයා හුදෙක් පණිවිඩකරුවෙකුම නොව නියෝජිතයෙකු ලෙසද කි‍්‍රයා කරයි මුල්ම යුගයේ කටවචනයෙන් පණිවිඩ ගෙන අතර පසුව  ලිඛිත සංදේශ භාවිතාව ඇරඹිණි.කි‍්‍ර.පු 512 දි පමණ පර්සියානු මහාධිරාජ්‍යයා වන සේරියස් රජ සිය හමුදාවත් සමග කඵ මුහුදට උතුරෙන් පිහිටා ඇති ස්කයිතියන් ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරිමට ගිය අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ද කණ්ඩායමේ අණදෙන බලධාරියාගේ හසුනක් ගත් එක් දුතයෙක් පැමිණි බව කියවේ.කිසියම්පත‍්‍රයක ’තල් පතක’හෝ   නොලියනු ඒ සංදේශය දැක්වුනේ අචේතනික හා සචේතනික වස්තු රුසකි.සචේනික වස්තු වුයේ මියෙක් මැඩියෙක් හා කුරුල්ලෙකි.අවේනික වස්තු නම්ඊතල කීපයකි.මේ ආකාරයට සංකේතාත්මකව සංදේශ එවු අතර අද වන විටද රාජ්‍ය රාජ්‍යයන් අතර කටයුතු වලදි දුතයන් කි‍්‍රයා කරන ආකාරය දක්නට ලැබේ
.
සංදේශ යැවිම හා සන්නිවේදන ක‍්‍රම භාවිතය පිළිබද ප‍්‍රබල වුත් පර්යේෂණ කිහිපයක් කරන ලද්දේ යුද්ධය කාලීන යුද්ධෝපක‍්‍රම ලෙසින් බව ඉතිහාසය සදහන් කරයි. ඒ අනුව සන්නිවේදනයේ නැගිම හා ජනමාධ්‍යයේ නැගිමට සමාජ විප්ලව බලපා ඇති බව පැහැදිලි වේ.

මෙලෙස පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රම ක‍්‍රමිකව විකාශනය වු නිසා මුහුණට මුහුණලා සිටින්නෙකු සමග පමණක් නොව දුරස් පුද්ගලයන්ටද හැකි විවිධ ක‍්‍රමෝපායන් බිහිවන්නට විය.මේ සදහා තාක්ෂණික දියුණුව මෙන්ම සමාජීය සංවර්ධනයද අත්‍යවශ්‍ය වන්නකි. ඒ අනුව වඩාත් ප‍්‍රචලිත පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමයක් ලෙස මේවා වඩාත් ප‍්‍රචලිත වි තිබේ.
1.ලියුම්
^letters&

2.විදුලි පුවත්
^TeLeGraMeS&
3.දුරකථන
 ^TeLePHOneS&

මේ  සියලූ කරුණු අනුව පෙනි යන්නේ ජංගම දුරකථනය තෙක් සාම්ප‍්‍රදායික පුද්ගලාන්තර සන්නිවේදන ක‍්‍රමවේදයන් ගේ විකාශනය වේ.   
  

 

ආශි‍්‍රත ග‍්‍රන්ථ
01 මහේන්ද්‍ර’සුනන්ද”ජනමාධ්‍යයේ නැඟිම;
02’නන්දනකරුණානායක”සන්නිවේදන’ප‍්‍රභවයහා ව්‍යාප්තිය”මාධ්‍යප‍්‍රකාශකයො ’නුගේගොඩ’1994
03 ’විමල්දිසානායක”මානව සන්නිවේදනය”කොළඹ’1997
04’ආරියරත්න ඇුතුගල”සංජානනය සහ     සන්නිවේදනය”ගුණසේන සහ සමාගම’කොළඹ’1998
05’චන්ද්‍රසිරි රාජපක්ෂ ”සන්නිවේදන හා ස.කල්ප

Wednesday, July 17, 2019

අතීත උරුමයක් ඇති පිදුරංගල



පසුගිය සතියේ අප මෙම චාරිකා සටහන නිමාකළේ ඓතිහාසික පිදුරංගල පුදබිමට පැමිණීමෙනි. සියවසකට එහා ගිය අතීත උරුමයක් ඇති පිදුරංගල විහාරය යුග කිහිපයකට අයත් පින් බිමකි.
වර්තමාන ස්වාමීන් වහන්සේලා වැඩසිටින ආවසගෙය පසුකර ඉදිරියට යනවිට වම් පසින් වත්මන් බෝධීන් වහන්සේ දැක වැඳපුදා ගත හැකි අතර ඒ අසලින් විහාරයට පිවිසෙන පියගැට පෙළ හමුවෙයි. එම පියගැට නැගීමෙන් පසු ස්වාභාවික ගල් ලෙනක් තුළ පිහිටා ඇති පිළිම ගෙය හමුවෙයි.
කටාරම් කෙටූ ගල් ගුහාව තුළ අවුකණ ප්‍රතිමාවේ අනුරුවට ඉදිකළ ශෛලමය හිටි පිළිම දෙකක් දැකිය හැකිය. පසු කාලීනව මෙම ප්‍රතිමාවල තීන්ත ආලේප කර ඇති බැවින් බැලූ බැල්මට ඒවා ශෛලමය ප්‍රතිමා ලෙස හඳුනාගත නොහැකිය.
එසේම පසු කාලීනව තනා ඇති සැතපෙන ප්‍රතිමාවකින් සහ හිඳි පිළිම දෙකක්ද වන්දනා කර ගත හැකිය. මෙහි ඇතුළත බිත්ති සහ පිටත බිත්ති වල බුදු සසුනේ විවිධ සිදුවීම් චිත්‍රයට නගා තිබේ.
ස්වාභාවික ගල් ලෙනක් තුළ ඉදිකර ඇති මෙම පිළිම ගෙයි ඉහළ ගල් පියස්සෙහි අලංකාර නෙළුම් මල් රටාවක් දැකිය හැකිය. එසේම මෙම ගල් ලෙනෙහි වම්පස විෂ්ණු දෙවියන් වෙනුවෙන් ඉදිකළ දේවාලය පිහිටා තිබේ.
පිදුරංගල පර්වතය මුදුනට පිවිසීමට මෙම විහාරයේ දකුණු පසින් ඇති පාරෙන් ගමන් කළ යුතුය. විශාල ගල් අතරින් තනා ඇති මෙම මාර්ගය ගල් පඩි යොදා සකස් කර ඇති අතර ස්වාභාවික තුරු වියන ඉහළ සිට සෙවණ සලසන නිසා පරිසරය ගුප්ත අඳුරු ස්වාභාවයකික් යුතුය. විවිධ වූ ශාඛ අතර නාගස් බහුලය. මේ මල් පිපෙන කාලය බැවින් නාමල් පෙති විසිරී ගල් මත රැඳී තබෙනු දැකිය හැකිය. එසේම නාමල් සුවඳ මුසුවුණු සිසිල් වායුවෙන් ළය පුරවා ගැනීම ගල් පඩි නැගීමෙන් වෙහෙසෙන ගතට ඔසුවක් සේය.බැලු බැලූ අත දැකිය හැකි නිල්වන් තුරු වියන අතරින් විරාජමානව නැගී සිටින සීගිරි පර්වතය අතීතයේ කෙසේ අලංකාරව තිබෙන්නට ඇතිද? කාශ්‍යප රජු අද අප සිටින මෙම ගල් පර්වතයේ සිට සිය වාසය සඳහා තෝරාගත් සීගිරියේ අලංකාරය දැක මොනතරම් නම් ආඩම්බරයකට පත් වන්නට ඇතිද? සැබැවින්ම මෙය ලෝක උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව අප ආඩම්බර විය යුතුය. එසේම මෙවැනි සුන්දර, දුර්ලභ ස්ථාන වලින් පිරී ඇති පින් බිමක් වන මේ ලක් පොළොවේ උපදින්නට තරම් අප කොයිතරම් පින්කර තිබෙන්නට ඇතිද? ගත රැඳි වෙහෙස උදුරා ගනිමින් හමා යන දැඩි සුළඟේ සිසලස විඳිමින් සීගිරි පර්වතය වෙනස්ම කෝණයකින් පෙනෙන ඒ දසුනින් නෙත් ඉවතට ගන්නට මගේ සිත ඉඩ නොදේ.
ඔබ මෙතැනට පැමිණිය හොත් මෙතැනින් ඉවතට යන්නට නම් උත්සාහ නොකරනු ඇත. මට දැනෙන ඒ හැඟීම ඔබටත් එලෙසම දැනෙන බව මට සහතික නිසාය. ඔබ මේ ගමන එනවිට අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් රැගෙන ආ යුතුය. ඒ පර්වතය තරනය කිරීමේදී පිපාසය දැඩිව දැනෙන බැවිනි. එහෙත් එලෙස රැගෙන එන ජල බෝතල ආපසු රැගෙන යන්නට අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුය.එසේ නොවුව හොත් ඔබ මේ පරිසරයට ආදරය නොකරන විනාශ කාරී පුද්ගලයකු බවට පත්වන හෙයිනි.
මෙම ගල් තලාවේ සිට හාත්පස නෙත් යොමු කරන විට පෙනෙන දසුන අලංකාරය. නෙත් පෙනෙන මානයේ ඇත්තේ එකම හරිත පැහැයකි. තැනින් තැන කුඩා වැව් රාශියකි. සීගිරිය ලෝක උරුමයක් නිසා සංචාරක ආකර්ශනය වැඩිය. මේ නිසා තැනින් තැන ඉදිකර ඇති හෝටල් ඉතා අලංකාර ලෙස පෙනේ. මෙම ගල් තලාව මඳක් ආනතියකින් යුක්තව විශාල ලෙස පැතිර තිබේ. අතීතයේ රාවණා රජු සිය දඬුමොනර යන්ත්‍රයෙන් ගමන් බිමන් යන්නට මෙම ගල්තලාව භාවිතයට ගත්තා යැයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ මේ සුවිශේෂි පිහිටීම නිසා විය හැකිය. උදෑසන හිරු නැග එද්දි මෙන්ම සවසට හිරු බැස යද්දී අවට මොනතරම් සුන්දර දසුනක් මැවෙනු ඇත්ද? ඒ දසුන දකින්නට මෙහි ඉන්නට කාලය හරස්වී ඇත.
සීගිරිය සහ මෙම පිදුරංගල ආශ්‍රිතව ඇති බොහෝ තොරතුරු කාශ්‍යප රජතුමාට වඩා රාවණා රජතුමා වටා ගොඩ නැගිලා තිබෙන බව තමයි වර්තමානයේ වඩාත් කතාබහට ලක් වෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අතීතයේ තිබුණු දියුණු තාක්ෂණය රාවණා මත තමයි ගොඩ නැගිලා තිබෙන්නේ. ඒ කාලයේ ජීවත්වෙලා ඉඳලා තිබෙන්නේ යක්ෂ ගෝත්‍රිකයන්. ඒ සියලුම දේවල් විනාශ කරලා නැති කරලා දැම්මා කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. එයින් එක් දෙයක් තමයි අංගම්පොර සටන් කලාව. ඒ නිසා අතීතයේ අපි ප්‍රබල ජාතියක්ව සිටි බවට සාධක ඇති මේ පිදුරංගල ඓතිහාසිකව ඉතා වටිනා පූජනීය ස්ථානයක්. එය රැක ගැනීම ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්.‘‘
අපේ ප්‍රෞඩ ඉතිහාසයේ අතීත හෙළ විරුවන්ගේ ජීවන හුස්ම රැඳුණු, මහා රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍රවුණු පිදුරංගල පුද බිමේ ගත කළ හෝරා කිහිපය සදා මතකයේ රඳවා ගනිමින් අප එම පින් බිමෙන් එන්නට පිටත්වීමු.

Wednesday, July 10, 2019

සොබාදහම රස විඳින්න දුරට යන්න වෙලා නැද්ද? උදේ ගිහින් හවස එන්න කොළඹ අවට ලස්සන තැන් 6ක්

මේ දවස් වල අපේ කට්ටිය ඉන්නෙ බිසී එකෙත් උපරිම එකේ. ඔෆිස් වල වැඩ වැඩි එක නම් කොහොම හරි බැලන්ස් කර ගත්ත කියමුකො. එහෙන් මෙහෙන් එල්ලගෙන කරන කෝස් වල එක්සෑම් ටික මතක් වෙද්දි තමයි බඩ පපුව දාලා යන්නෙ. හැරත් අපි මැරීගෙන වැඩ කරද්දි යාලුවො සෙට් වෙලා ටුවර් යනකොට! කොහොම වාවන්නද?
ඔය වෙලාවට තමයි හිතෙන්නෙ තනි දවසෙ ටුවර් එකක් හරි ගිහින් එන්න. එක යාලුවෙක් සෙට් කරගත්ත නම්, බයික් එකේ ගිහින් ආවා. නැත්නම් බස් එකකට කෝච්චියකට හරි ගොඩ වෙන්න බැරියැ. ඒත් යන්නෙ කොහෙද යන්නෙ?
හරි, ඒක ගැන අවුලක් ගන්න එපා, අපි කියන්නම් යන්න තැන්. එහෙනම් ලෑස්ති වෙන්නකො මේ වීක් එන්ඩ් එකේ, වන් ඩේ ටුවර් එකක් දාලා එන්න. ඔන්න පහතින් තියෙනව තැන් ටික.

1. සීතාවක තෙත් බිම් උද්භිද උද්‍යානය

කොළඹ-අවිස්සාවේල්ල පාරෙ කලුඅග්ගල හංදියට ගිහින් එතනින් දණුට දාන්න. ඒ කියන්නෙ කලුඅග්ගල-ලබුගම පාරට. ඒ පාරෙ ඉස්සරහට යද්දි මුණගැහෙන තුම්මෝදර හංදියෙන් වමට දාලා (තුම්මෝදර-පුවක්පිටිය පාර) ටික දුරක් ආවාම තමයි සීතාවක පාර්ක් එක හමුවෙන්නෙ. ඇතුලට යන්න නම් රු. 50ක 60ක ටිකට් එකක් ගන්න වෙයි. හැබැයි ඉතින් පාඩු නෑ. මොකද හිතේ හැටියට ඇවිදින්න, කන්න බොන්න, විනෝද වෙන්න පුුලුවන්නෙ. පරිසරයත් හරිම නිස්කලංක නිසා රිලැක්ස් වෙන්න කියාපු තැන. පොඩි අවුලකට තියෙන්නෙ සතා සීපාවා දැක ගන්න බැරි එක තමයි. අඩු පාඩුව සර්පයෙක් දෙන්නෙක් නම් එහෙන් මෙහෙන් ඉන්නව. හැරත් කුරුල්ලො පිරිලා ඉන්න නිසා වට පිටාව හරිම ලස්සනයි. ඒක නෙවෙයි රු. 200ක් වගේ ගාණකට පොඩි බෝට්ටු සවාරියක් යන්නත් පුලුවන්.  

2. අත්තිඩිය කුරුලු අභය භූමිය

අවාසනාවන්ත ඉරණමක් අත්වුනු ලස්සන තැනක්. දැනට අවුරුදු 10කට විතර කලින් බෙල්ලන්විල, අත්තිඩිය ඇත්තටම කුරුලු අභය භූමියක්. ජලාශ්‍රිත කුරුල්ලො පිරිලා. කොටින්ම කියනව නම් ඉස්කෝල වලින්, කැම්පස් වලින් පවා ක්ෂේත්‍ර චාරිකා එක්කන් ගියපු තැනක්. ඒත් අද වෙද්දි ඒකෙන් භාගයක් වත් ඉතුරු වෙලා නෑ. අත්තිඩිය වැව වට කරලා හදපු ඇවිදින මංතීරු, කොන්ක්‍රීට් බංකු, අවන්හල නිසා කුරුල්ලන්ට වැඩිය ඉන්නෙ මිනිස්සු.
ඒකෙන් මේකෙන් වැඩක් නෑ, කොහොම වුනත් හවස් ජාමෙට නම් මෙතන හරිම ලස්සනයිනෙ. තොර තෝංචියක් නැති කුරුලු හඬ මැද්දෙන් ඉඳල හිටල වාහන සද්දයක් ඇහුණට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියාපු තැන. ඒ හැරුණාම කුරුල්ලන්ගෙ ෆොටෝ ගන්න අයටත් අත්තිඩිය අභය භූමිය නරකම නෑ. මොකද රු. 200ක් දුන්න නම් කැමරාවත් දාගෙන බෝට්ටු සවාරියක් ගිහින් ලස්සන ෆොටෝ ටිකකුත් අරගෙනම එන්න පුලුවන්. කොහොම වුනත් අත්තිඩියෙ මේ ඉතුරු වෙලා තියෙන ටිකවත් රැක ගන්න කියන ඉල්ලීම නම් කරන්නම ඕන.

3. හොරගොල්ල ජාතික උද්‍යානය

කොළඹ-නුවර පාරෙ තිහාරිය, මල්වත්ත හංදිය පහුකරන් ඉස්සරහට යද්දි අනගි මාවත මුණ ගැහෙන්නෙ ඔයාගෙ වම් අත පැත්තෙ. එතන ඉඳන් අනගි මාවත දිගේ කිලෝමීටර 2ක් 3ක් විතර ගියාම හොරගොල්ල ජාතික උද්‍යානයට පිවිසෙන්න පුලුවන්.
ක්ෂීරපායි සත්තුන්ගෙ ඉඳන් කුරුල්ලො, සමනල්ලු, සර්පයො, උභය ජීවියො වෙනකම් ලොකු ජෛව විවිධත්වයක් තියෙන මේ පුංචි වනෝද්‍යානය අපි දන්න විදියට නම් කොළඹට කිට්ටුවෙන් තියෙන හොඳම, ලස්සනම කැලය. ගස් කොලන් වලිනුත් පිරිලා තියෙන නිසා පරිසරයත් හරිම නිස්කලංකයි. අතරින් පතර ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචිය හිතට ගේන්නෙ පුදුම සැහැල්ලුවක්.
හොරගොල්ල ජාතික උද්‍යානයෙ අපූරු පුංචි කෞතුකාගාරයක් වගේම සත්ව සායනයකුත් තියෙනව. හැබැයි කැන්ටින් එකක් නම් නෑ. ඒ නිසා මතක ඇතුව එළියෙන් කෑම අරගෙන යන්න. අනේ ඒත් පොලිතින් නම් දාන්න එපා. කියන්න බැරි වුනානෙ, මේකට ඇතුල් වෙන්න රු. 50ක ටිකට් එකකුත් ගන්න වෙනව.

4. තලංගම වැව

තලංගම වැව කිව්වට ගොඩ දෙනෙක් මේක දන්නෙ අකුරෙගොඩ වැව කියල.
අත්තිඩියට වෙච්ච දේම තමයි මේකටත් වෙලා තියෙන්නෙ. මුලු වැව වටේටම ගෙවල් හදල නිසා දැන් ඉස්සර තරම් කුරුල්ලො නෑ. හැරත් බෝට්ටු සවාරි සර්විස් එකත් නෑනෙ. ඒත් වැව වටේට බංකු එහෙමත් ගහල තියෙන නිසා පොඩි කයියක් දාගෙන ඉන්න පුලුවන්.  
ජලාශ්‍රිත පක්ෂීන් තමයි ගොඩක්ම තලංගම වැව වටේට ඉන්නෙ. ඒ හැරුණාම සර්පයො, උභය ජීවියො එහෙමත් ඉඳල හිටල දැක ගන්න පුලුවන්. කොච්චර වුනත් හවස් ජාමෙට නම් වැව වටේට හරිම නිස්කලංකයි. ඉර බැහැගෙන යද්දි වැව් ඉවුර හරිම ලස්සනයි. ඇත්තටම හුදකලා වෙන්න කියාපු තැන.

5. ගුරුගේ ස්වභාවික උද්‍යානය

කොළඹ-මීගමුව පාරෙ කපුවත්ත පහු කරන් ඉස්සරහට ගියාම දකුණු පැත්තට හැරෙන්න තියෙන ජාඇල- ගනේ මුල්ල පාර මුණ ගැහෙනව. ඒ පාරෙ කිලෝමීටරයක් විතර දුරින් තමයි ගුරුගේ ස්වභාවික උද්‍යානය පිහිටල තියෙන්නෙ.
ස්වාභාවික උද්‍යානයක් කිව්වට ඇත්තටම මේක සත්තු වත්තක්. ගොඩක් සත්තු කූඩු කරල ඉන්නෙ. එහෙන් මෙහෙන් සතෙක් දෙන්නෙක් තමයි නිදහසේ ඉන්නෙ. පොඩි හරි විශේෂත්වයකට කියල තියෙන්නෙ ස්වභාවික විදියට හදපු නිර්මාණ ටිකක් තියෙන එක තමයි. එහෙමයි කියල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බැරි කමක් නෑ. කෑම බීමත් පාර්ක් එක ඇතුලෙම තියෙන නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනත් නෑ. ඇතුල්වීම් පැකේජ රු. 500 ඉඳන් තියෙනව. බෝට්ටු සවාරි වගේ ඒවත් තියෙන නිසා හොඳට විනෝද වෙලා එන්න පුලුවන්.

6. වෝටර් වර්ල්ඩ්

කැළණිය-බියගම පාරෙ තල්වත්ත පහු කරපු ගමන්ම වම් අත පැත්තට වෙන්න තමයි වෝටර් වර්ල්ඩ් එක තියෙන්නෙ. ඇතුල් වීම රු. 280යි. මේකත් සත්තු වත්තක්. කිසිම ස්වභාවික කෑල්ලක් නම් නෑ. ඒ වුනාට ගුරුගේ එකට වඩා හොඳයි කියල කියන්න පුලුවන් දේවලුත් තියෙනව. කෑම බීම නම් එළියෙන් තමයි ගෙනියන්න වෙන්නෙ. බෝට්ටු සර්විස් එහෙමත් නෑ. කොහොම වුනත් මේකෙ ඇක්වේරියම් එක නම් පට්ට.
ඔය අන්තිමට කියපු තැන් දෙක ගැන නම් අපේ ලොකු සතුටු දායක අදහසක් නෑ. කෝකටත් කියල ඔයාලා දන්න තැනුත් පහලින් කමෙන්ට් කරන්න. එතකොට අපිට වගේම අපේ යාලුවන්ටත් බලා ගන්න පුලුවන්නෙ.


සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

     සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ ...