Wednesday, September 4, 2019

සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

    



සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ කන්දකුඹුරේ ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමඟ දීග යන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය.ඒ අදින් වසර හැට අටකට පමණ පෙර දී ය.මගුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කීපයක් ගතවෙද්දී ය.බේබදුකමත්, සල්ලාල කමත්, මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත් අභාවයට යන ඉපැරණි වලව් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදු වුයේ අවාසනාවන්ත ආකාරයටය. ඇය තුළ පැවැති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳ දමා ගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත.දවස පුරා අධික ලෙස මත්පැන් පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමි වූයේ  අනේකවිධ වධහිංසා පමණි.අලුත විවාහ වූ යුවලක් තුළ ඇති ආදරය සෙනෙහස ඇයට විඳින්නට හැකි වූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැනවැදීම් පහරකෑම් හා හිත් වේදනාවන් ඇයට  නොඅඩුව ලැබුණි .
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාට වත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේදී ඇය බියට පත් කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම  ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපි නෝනාට මෙය  මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරි මතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා  යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය.ඒ සියල්ලටම වඩා මත් වතුරින් විකෘති වූ මනසකින් හෙබි සිදු ආදර හැඟීමක් නොමැති මිනිසුන්ගේ පීඩාකාරී හැසිරීම් රටාව දරා ගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත. සොපි නෝනා ගැබ් ගන්නේ මේ කාලයේදීය. ඒ ඇයගේ බේබදු සැමියා ගෙන් මය.  එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේදී ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරු වූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ඇගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි.  එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාර කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.මේ සියලු සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහි ද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. 
 යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවෙකුට වඩා එම දරුවා තමාට සිදුවූ බලහත්කාරකමකින් උපන් දරුවා යන හැඟීම ඇය තුළ විය.ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලටම  දැඩි ලෙස වෛර කළාය.කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප්‍රසූතිය  සිදුවීම නියමිත කාලයට පැමිණියේය.ඇයට විළිරුදාව සෑදෙන මොහොතේ ද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය.ඉනුත් නොනැනවති වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුවත් නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප්‍රමාද බව හඟවමින් ඒ වන විටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර කොතකුත් ප්‍රතිකාර කළද සොපි නෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැගෙන ගියේ මෙතෙක් සිය දියණිය විදි දුක් කරදර සියල්ල ඔවුන්ට මල ගෙදරදීම දැනගැනීමට ලැබීමත් සමගය.සොපිනෝනා මියගොස් ගෙවී ගියේ තුන් මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරි පදිංචිව සිටියේ කන්දකුඹුරට ආසන්න දවුල්දෙන වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසු වූවාය.එක් දිනක් හවස 6 ට පමණ ඔවුන්ගේ  නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුනි.නිවසේ කිසිවකුත් උත්තර දුන්නේද නැත.මද වේලාවක් නිහඩව  සිටිමින්  නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිකලකවත් බලාපොරොත්තු නොවූ දෙයකි.දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කර සැනින් දුටු ඒදසුනින් ශ්‍රියාලතා දැඩි ලෙස බියට පත් වූවාය .ඇයට  ඉබේටම මෙන් කෑ ගැසුණි.පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටු විට ඇය තව තවත් බියට පත්වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය ඒ සැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.අසල්වැසියන් ඇය රෝහල් ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරු ගැබ  පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේ දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවය. ඒ ආකාරයට  සොපිනෝනා සිය සැමියාගේ  සහෝදරරියගෙන් ඇරඹූ පළිගැනීම අද දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකු මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. සියලු දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයකින් කටයුතු කළාය.සොපිනෝනා මිය යන විට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය.සොපිනෝනාගේ මරණයත් සමඟ දිගින් දිගටම කන්දකුඹුර සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරා ගැනීමේ ප්‍රධාන අරමුණු ද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය.
සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා සේවිකාව මෙන්ම සැමියාගේ මව ද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර එය භූත බංගලාවක් ඇයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියගේ හඬ  නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ  වැඩිමහල් සොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මිය ගොස් වසර 30කට පමණ පසුවය.ඔහු සේවය කලේ ප්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයෙකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳ ද එම ආයතනයේ ම උසස් තනතුරක් දරන්නියකි .විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසාය.අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවා ය.ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනී. පොලු පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුවද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය. .ඒ සැනින්ම අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොර ද වේගයෙන් ඇර ගේට්ටුව දෙසට දිව ගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එන විට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි.එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත .සොපිනෝනා සැමියාගෙන් විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී ,පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි .


අද වන තෙක්ම ගමේ කිසිම ගැබ්ගත් කාන්තාවක් එම වලව්ව ඉදිරියෙන් යාම සිදු කරන්නේ නැත. ඔවුන්ගේ පරපුරේ අවසානය එසේ දුටුවද ගමේ සිටින අනෙකුත් ගැබ් ගත් කාන්තාවන් ගෙන් ඒ පලිය ගනී  යන මතය ගම්වැසියන් තුළ තදින්ම තදින් ම කිඳාබැස තිබේ. ගම හරහා යන ප්‍රධාන පාර වලව්ව ඉදිරියෙන් යෙදී ඇති අතර ගමේ කාන්තාවක් ගැබ් ගත් පසු ගමන් බිමන් යාම සඳහා වලව්ව මං හැර යාමට ඇති විකල්ප මාර්ගයක් භාවිතා කරනු ලබයි. තවද මෙම ගමෙහි ගම්වැසියන් දරු ප්‍රසූතියක් ලැබීමට සිටින සෑම කාන්තාවක් හටම තොයිලයක් කර දානයක් දීම එම සිදු වීමෙන් පසුව ගමේ කරන සුවිශේෂ කාර්යකි . ගම්වැසියන්ගේ විශ්වාසය වන්නේ එම පරපුරේ අවසානය සිද්ධ වී ඇති මුත් ගමේ සිටින ගැබිණි  කාන්තාවන්ට එම ශාපය වැදිය හැකි බවයි .එම නිසා එදා පටන්ම ගමේ දරු ප්‍රසූතියකට සූදානම් වන සෑම කාන්තාවකටම තොයිලයක් කර දානයක් දීම එම ගමට ම ආවේණික වූ විදියකි .නැතිනම් සොපිනෝනාගේ ආත්මයෙන් තමාගේ ගැබ්ගත් ගත් දරු ගැබට කරදරයක් වේ යැයි ඔවුන්  දැඩි සේ සිතයි .එම සිදුවීම  සිදු වී දැනට වසර 68ක් පමණ වුවද මෙම චාරිත්‍ර විධි ඇදහීමට පටන් අරගෙන දැනට අවුරුදු 25ක් පමණ වේ .කන්දෙකුඹුර යැයි නම සඳහන් ඒ ගමට වර්තමානය වන විට සොපී ගම යනුවෙන් නම් පටබැඳී ඇත්තේ ද එම සිද්ධිය නිසා ය.








Wednesday, July 31, 2019

කවිය ගීතය යනු හුදෙක්ම රචකයාගේ ආත්ම ප්‍රකාශනයක් නොව අනුභූතිය පොදු සමාජ යතාර්තයක් වූ සර්වසාදාරන සමීකරනයකි.


මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
හෙට රත්නශ්‍රීයන් වැලි කතරේ අපිට ගීයක අරුත පහදා දෙන්නට ලේන්ඛාන් වීදියෙන් නික්මෙන විට එසේ කියන්නට හේමමාලියක් ජීවතුන් අතර නැත. රජරට සේවයෙන් දුශ්කර පළාතකට මාරු කළ කපුගේ එදා ලයාන්විතව එසේ බිරිඳට කියා නික්මුනත් අද ප්‍රේමා කපුගේට ඒ ආදරයද අපිට ඒ මධුර ස්වරයද සදාකල්ම අහිමිව ගොස් අවසන්‍ ය. නමුත් නිර්මාණ රසය සදාතනිකය.
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
එදා තෙල්ලඹුරේ පාසලින් දුශ්කර ගමක සේවයට යන මොහොතේ රත්නශ්‍රී විඳි සංතාපය අඹු දරුවන්ගෙන් මිදීමේ දුක ඔබද මමද අනේක වාරයක් කටුනායක වෙන්වයාමේ වීදුරු ද්වාරයෙන් එපිට මෙපිට සිට විඳින්නට ඇත.
වැලී කතරේ කුළී නිවසට ඔව්න් කැඳවන් එන්නට අප ආස වුවත් ආර්ථිකය හැමෝටම හැඟීම් සංතෘප්ත කිරීමේ පහසු මාධ්‍යක් නොවිය හැක. එසේ වුවත් මේ විශඝෝර සර්ප විමනක් බඳු කර්කෂ පොළවේ ඔව්න්ටද කුඹුසක් පරාටයක් කවා ගිනි ගහන අව්වේ දුක් විඳීමට සා පැටව් වැනි දරුවන් රැගෙන ඒ මට අපට සිත් නොදිය හැක.
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
කවිය ගීතය යනු හුදෙක්ම රචකයාගේ ආත්ම ප්‍රකාශනයක් නොව අනුභූතිය පොදු සමාජ යතාර්තයක් වූ සර්වසාදාරන කරනයකි. .
නුඹ නොදී එතර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ
කැපකිරීම් හුදෙක්ම ප්‍රියයන්ගේ අබිවෘද්ධිය සඳහාය. ඒකාකාරී රට රැකියාවේ කාන්සිය තනිකම ආදරය රාගය විරහව සියල්ල අඟල් පහලොවක පාරිගනක තිරයකින් හුවමාරු වීම එකම දෛනික වෙනසයි. රත්නශ්‍රීයන් කපුගේ සිහිනෙන් දුටු බිරඳ skype ඇමතුමකින් දැකීමට හැකිවීම හැර වෙනයම් වෙනසක් ඔව්න්ගේ අතීත හෝ අපගේ වර්ථමාන අත්දැකීමේ තිබේද...?
වෙස්සන්තර කතාවේ මෙන්ම අපද වංකගිරියක ගමන් කරමින් සිටින්නෙමු.ඒ වංක ගිරියේ විවේකී ඉසිඹුවක අපි එකතු වෙමු, සොඳුරු ගී රස විඳින්නට හෝ රත්නශ්‍රීයන්ගෙන් එහි අරුථ ලිහා ගැනීමට නොව කලාව නුරූපනය කරන සැබෑ ජීවන යතාර්ථයන් ගේ සුවඳ විඳින්නට. ඒකාකාරී ජීවන රටාව වෙනස් කර වියූ පැදුරක සුරම්‍ය වූ ධ්‍යානයකට සමවදින්නට..!

Monday, July 29, 2019

අද ඇසෙන්නේ ජනපි‍්‍රය ගීතවලට වඩා ප්‍රසිද්ධ ගීත. ඒ ඇයි?

 වර්තමානයේ ඇසෙනගීතඅපි ඒවා ගැන බලන්න ඕනෙ කාලීන සමාජයත් එක්ක. විශේෂයෙන් එදා අපි සිංහල ගීතය කියලා කතා කරන විට එහි සීමාව කොතැන ද කියලා හඳුනාගෙන කතා කළ යුතුයි. අපේ බහුතරයක් විචාරකයෝ සිංහල ගීතය ගැන කතා කරන විට වරද්දා ගන්නවා. අපේ ලාංකීය ඉතිහාසයේ ගීතය සීගිරි ගීය දක්වා දිව යනවා. පෙරදිග සාහිත්‍ය ගත්තොත් රිග්වේදය දක්වා දිව යනවා. ඒ ගීත සාහිත්‍යය පිළිබඳවද අපි කතා කරන්නෙ එසේත් නැත්නම් ගුවන් විදුලි ගීත සාහිත්‍යය පිළිබඳවද අපි කතා කරන්නෙ කියන නිර්ණය අපි කතාවට කලින් ඇතිකර ගන්න ඕනේ. ගුවන්විදුලිය හරහා ආ ගීත සාහිත්‍ය බිහිවෙන්නෙ ගුවන්විදුලිය ඇතිවූවාට පසුව. විශේෂයෙන් පනහෙ දශකයේදී අපි දකින්නෙ සිංහල ගීතය කියලා හින්දි තනුවලට ලියපු ගීත.
මුලින්ම මෙයට කිව්වෙ තනුවට වචන දානවා කියලා. ඊට පසුව තව ටිකක් ගීතය සංවර්ධනය වන විට අපි දකිනවා. හින්දි තනුවලට සිංහල වචන දැම්මා. ඒ තුළත් හොඳ අදහසක් ඇතුළත් වන විදියට ඒ දේ කළා. අනතුරුව අපි ස්වාධීන තනු, ස්වාධීන නිර්මාණ යුගයක් හැටියට ගීතය දකිනවා. මේ ආකාරයට ඓතිහාසිකව ගීතයේ කිසියම් වූ වර්ධනීය අවස්ථාවක් අපි දකිනවා. ඉන් පසු හැත්තෑව දශකය ගීතයේ ස්වර්ණමය අවධිය ලෙස සාකච්ඡා කෙරෙනවා. මෙම ගීත අධ්‍යනයේ පහසුව සඳහා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉන් පළමුවැන්න ගීතය යන්න සමාජයට ගුණ අරුතින් අර්ථවත් වෙනසක් ඇති කළ හැකි මිනිසුන්ගේ මානසික බුද්ධිය වර්ධනය කරන සංකල්පයක්ය කියන අදහසින් ගීත ලියන පිරිසයි.
එයින් කියැවෙන්නේ ගීතය කියලා කියන්නෙ ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර වීම දක්වා මිනිසාගේ බුද්ධි වර්ධනයට හේතු භූත වන චර්යාමය වෙනසකට හේතුවන සාහිත්‍යාංගයක්ය ගීතය කියන්නේ කියන අදහසින් ගීත ලියන පිරිසයි. දෙවැන්න ගීතය කියලා කියන්නෙ එතරම් සාහිත්‍යාත්මක වශයෙන් වැදගත්කමක් නැති ඒ ඒ අවස්ථාවලදී මානසික සතුට ඇතිකර ගැනීම සඳහා හුදෙක් නැටීම, ගැයීම, වැයීම පමණක් අරමුණු කරගෙන ගීතය පාවිච්චි කරන්න ඕනෑය යන හැඟීමෙන් ගීත ලියන පිරිසයි. අද ඇහෙන සමහර ගීතවලට කියන්නෙ ආනන්දයෙන් මරදානට ගිහිල්ලා ඉවරයි කියලා. එය ප්‍රඥාව දක්වා යන්නෙ නෑ. ඒවා එදාට සාපේක්‍ෂව එදත් මෙදාට සාපේක්‍ෂව මෙදත් තියෙනවා. එතකොට එදත් හොඳ නරක පිළිබඳ ගැටුමක් තිබුණා.
අදත් හොඳ නරක පිළිබඳ ගැටුමක් තියෙනවා. ඒ ගැටුම බුද්ධ කාලෙත් තිබුණා. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම හොඳ සහ නරක පිළිබඳ ගැටුම තියෙනවා. ගීතය සම්බන්ධයෙන් ද එය එලෙසමයි. ඒ නිසා වර්තමානයේදී හොඳ ගීත බිහිවෙනවා. හොඳ ගීත ගායනා කරනවා. ඒ වුණාට ගීතය කියන එකේ මුලින් සඳහන් කළ පළමුවැනි අර්ථයෙන් ගීත ලියන්නෙ තරමක් දැනුම් තේරුම් තියෙන පරිනත බවක් තියෙන ගීත රචකයෝ. ඒ වගේම නැටීම, උඩ පැනීම යන සංකල්ප ඔස්සේ ගීත ලියන රචකයෝ ගත්තාම ඒ අය ඉන්නෙ ගොඩක් පහළ මට්ටමක. එය ගීතය පිළිබඳ පර්යේෂණයක යෙදෙන කොට පේනවා. මගේ මේ අලුත් ග්‍රන්ථයට මේ අංශ දෙකේම ගීත ඇතුළත් වෙලා තියෙනවා.
නමුත් මෙහි සිංහල ගීතයේ ජනපි‍්‍රය හා ප්‍රසිද්ධ ලක්‍ෂණ නමින් පරිච්ඡේදයක් තියෙනවා. එහි ජනපි‍්‍රයත්වය හා ප්‍රසිද්ධිය කියන්නෙ දෙකක් යන්න පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. ජනපි‍්‍රයත්වයට මම දෙන අර්ථය තමා රටට ප්‍රයෝජනවත් වන රටේ මිනිසුන් පොදුවේ රස විඳින සමාජ හානියක් නොවන ගීත යන්නයි. මේ ජනපි‍්‍රය ගීත ශත වර්ෂාධික කාලයක් මිනිස් මනසේ තියෙනවා. අනිත්‍යතාවයට සියල්ල යටයි. නමුත් අනිත්‍යතාවයට යටත්ව ජනපි‍්‍රය ගීතයක් කිව්වාම ගොඩක් කල් පවතිනවා. එයට එක් උදාහරණයක් “සිංහල ගීතය සහ අපේ සංස්කෘතිය” ග්‍රන්ථයෙන් උපුටා දක්වනවා නම්,
“කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට ම අගී”
මෙය ප්‍රේම ගීතයක්. නමුත් ඒ ප්‍රේම ගීතයට වස්තු විෂය සපයන්නේ බෞද්ධ ගුණ අරුතෙන්. ඒ බෞද්ධ ශික්ෂණය ලබපු මේ කලාවැව කියන සංකල්පය යොදාගෙන ලියූ ඒ ගීතය ජනපි‍්‍රය ගීතයක්. ප්‍රසිද්ධ ගීත ඒ වාගේ කාලාන්තරයක් පවතින්නේ නෑ. ඒ සඳහාත් උදාහරණයක් මේ ග්‍රන්ථයෙන්ම දක්වන්න පුළුවන්.
“නාන තොටේදී ඉඟි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බඳින්න ද අපි කෝමා
හීන හැඩයි උඹ මට ගේනා”
මේ ගීත ඇසූ ගමන්ම අපේ හිතට එන්නේ බැඳපු ගෑනුන්ට වෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කරන පිරිමි ගැන. මෙය සමාජයට කොච්චර වැදගත් ද කියන මතයේ ඉඳලා තමා අපි එම ගීතය විවේචනය කරන්නෙ. ඒවාට අපි කියනවා පහත් රුචිකත්වය දනවන ගීත කියලා. සාමාන්‍යයෙන් සමාජයක් ගත් විට සමාජයේ පොදු මතය වන්නේ කාලා බීලා නටමු ගයමු කියන එක. නමුත් දැනුම් තේරුම් තියෙන පුද්ගලයො ඊට වඩා ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ දෙඅංශයටම සම්බන්ධ ගීත මගේ මේ පොතෙන් පර්යේෂණයට ලක්කෙරෙනවා. 
* අද ඇසෙන්නේ ජනපි‍්‍රය ගීතවලට වඩා ප්‍රසිද්ධ ගීත
ගීතයක් නම් ජනපි‍්‍රය වෙන්න ඕනෙ. ජනපි‍්‍රය ගීතයක් හැම විටම ප්‍රසිද්ධයි. නමුත් ප්‍රසිද්ධ වූ පමණින් එය ජනපි‍්‍රය වෙන්නෙ නෑ. ප්‍රසිද්ධ වූ හැම දේම ජනපි‍්‍රය මානසිකත්වයට ගන්නෙ නෑ. මම කියන්නෙ සාහිත්‍යය රුව ගුණ පිරිහුණ වේග රිද්මයට ලියැවුණ බොහෝ ගීත ප්‍රසිද්ධ ගීත. ඒවා එක කාල පරාසයක් නියෝජනය කරනවා. සමහර වෙලාවට සතියක්, මාසයක්, අවුරුද්දක් වගේ ඉතාම කෙටි කාලයක් තමා ප්‍රසිද්ධ ගීත පවතින්නෙ, ප්‍රසිද්ධිය කියලා කියන එක ගන්න එතරම් අපහසු නෑ. අපහසු හොඳ දේ කරලා ප්‍රසිද්ධිය ගන්න. ගීතයේ රුව ගුණ ගත් විට මිනිසුන්ට සරලව තේරෙන ගීතවලට ඔවුන් කියනවා තේරෙනවා කියලා. කිව්ව ගමන්ම තේරෙන්නෙ කලාව නොවේ නිව්ස් (News)කලාව කියන කොටම තේරෙන්නෙ නෑ.
හිතන්න හිතන්න තව තව තේරෙනවා. “හාවා උඳුපියලිය කයි.” ඒක නිව්ස් එකක්. “හාවා උඳුපියලිය කටේ හිටුවයි” ඒක කවියක්. හැබැයි ඔය “කටේ හිටුවයි” කියන එක එක පාරටම තේරෙන්නෙ නෑ. නමුත් ටිකක් හිතන කොට තේරෙනවා. ජනපි‍්‍රය ගීතත් හිතන්න හිතන්න තමා තේරෙන්නෙ. නමුත් ප්‍රසිද්ධ ගීත එවේලේ ඇහුවා එතනින් ඉවරයි. මේ ප්‍රසිද්ධ ගීත ලියන්න එතරම් දැනුමක් අවශ්‍ය නෑ. හරයකුත් නෑ. ප්‍රසිද්ධ ගීත හරියට තණකොළ වගේ. ජනපි‍්‍රය ගීත කිරි බිංදුවක් වගේ. තණකොළ පිට්ටනියක් කන එළදෙන කිරි බිංදුවක් දෙනවා. කිරි බිංදුව ප්‍රමාණාත්මකව අඩු වුණාට ගුණාත්මකව වැඩියි. තණකොළවල ප්‍රමාණය වැඩි වුණාට ගුණාත්මක ගතියක් නෑ. මේ බලන්නෙ මම මිනිසුන් එක්ක. ගවයින් සමඟ නොවේ, ගවයින්ට තණකොළ ගුණයි.
අද ගීත විචාරය කරන විචාරකයො ළඟ මූලධර්ම නෑ. විචාරකයෝ තමන්ගේ මනසින් තමන්ට හොඳයි කියලා හිතෙන දේ හොඳ හැටියටත්, තමන්ට නරකයි කියලා හිතෙන දේ නරක හැටියටත් කියනවා විනා ගීතයක් විචාරය කරන්නෙ මෙන්න මේ මූලධර්ම යටතේ කියලා නෑ. සංගීත ශිල්පියා ගීතයක බලන්නේ සංගීතය පමණයි. පද රචකයා ගීතයක බලන්නේ පද ගැන විතරයි. ගායකයා ගීතයක බලන්නෙ පද ගැන විතරයි. ගීතයේ අරුත බලන්නේ නෑ. මේ අංශ තුනම බලන කෙනා තමා රසිකයා. රසිකයාට මේ හැම එකම වැදගත්. ගීතයක සාරවත් බව හා ගුණවත් බව යන දෙකම තිබිය යුතුයි. ගීතයක් ලියන විට හැම දෙනාටම එහි රසය, දැනුම, අවබෝධය ගැළපෙනවාදැයි සිතිය යුතුයි. ගීතයක් කියන්නේ පොදු රසවින්දන මාධ්‍යයක්.

Thursday, July 25, 2019

නව මාධ්‍ය යනු කුමක්ද ?



            විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වන මනෝ වෘත්තියක් සන්නිවේදනය වේ. සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රය ජනමාධ්‍ය යන්නටම පොදු වූවක් නොවේ. එය සමාජය තුල සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සඳහා මුද්‍රිත  , විද්‍යර්‍යුත්  නව මාධ්‍ය සොදාගත හැකිය. නමුත් මුද්‍රිත හා විද්‍යයුත් මාධ්‍යවලට සාපේක්ෂව සමාජය තුල වැඩි වශයෙන් වර්ධනය වන මාධ්‍යක් ලෙස නව මාධ්‍ය හදුන්වා දිය හැක. නව මාධ්‍ය ඉතා විශාල විෂය පථයක් හිමි කර ගත්තකි. ගෝලීයකරණයත් සමඟ එය ඉදිරියට පැමිණ තිබේ.නව මාධ්‍ය පැරණි මාධ්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාධ්‍යක් බවට පත්ව තිබේ.

          නවීන ලෝකය තුල දුර පිළිබඳ පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල සිද්ධියක් වී ඇත. ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනයන් පවත්වා ගැනීම පහසු වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාව අනෙකුත් මාධ්‍ය අභිබවා ගමන් කර තිබේ.එය නව මාධ්‍ය ලෙස වර්තමාන සමාජය හදුනා ගනී.අන්තර්ජාලය හා බද්ධ වී නව මාධ්‍ය ගොඩනැගී තිබේ.ඕනෑම ස්ථානයක් තුල ඕනෑම අවස්ථාවකදී ඩිජිටල් මෙවලමක් ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව පවතී. ලෝක සංවර්ධනය සදහා අද වන විට නවමාධ්‍ය තුලින් පෙලඹවීමක් ඇති කර තිබේ.
මාධ්‍යක් නව (new) වන්නේ කෙසේද යන්න මුලින්ම විවරණය කලේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයා වන මාර්ෂල් මැක්ලුහන් වේ. ඔහු තම understanding media යන කෘතිය තුල නව මාධ්‍ය පිලිබඳ පහදයි.

              වර්තමානයේ තුල ආර්ථික සමාජයීය සෑම ක්ෂේත්‍රයක් තුලම නව මාධ්‍ය යොදා ගනී. සුනන්ද මහේන්ද්‍රයන්ට අනුව නව මාධ්‍ය සඳහා හුරු වීමට අකමැති බොහෝ දෙනාට අනාගතයේදී බොහෝ දේ අහිමි වන බව පවසයි. මේ තුලින් සමාජයට නව මාධ්‍ය තුලින් වන බලපෑම පහදයි.ලෝක සංවර්ධිත රටවල නව මාධ්‍ය භාවිතය ප්‍රතිශත අතරින් ඉහල මට්ටමක පවතී. 1960 දශකයේදී පරිගණකය විප්ලවීය කලාවන් හා මිශ්‍ර වීම සමඟ වඩාත් ශක්තිමත් මාධ්‍යක් බවට පත් විය. 1980 දශකය තෙක් රූපවාහිනීය ගුවන් විදුලිය යන ජන මාධ්‍යවල විකාශන කටයුතු ඇනලොග් තාක්ෂණය තුලින් සිදු විය.ඩිජිටල් පරිගණක තාක්ෂණය සමඟ වෙනස් තත්ත්වයක් ඇති විය. අද වන විට මේවා වෙනස් වී ඇත. Social media,skype,google glass ආදී නව මුහුණුවරකින් නව මාධ්‍ය වර්ධනය වී ඇත.ජංගම දුරකථනය තුලින් සියල්ල කාර්යක්ෂමව ඉටු කරගන්නට හැකිය.නව මාධ්‍ය අධ්‍යයනය තුල යන්ත්‍ර විද්‍යාව,අර්ධ විද්‍යාව,සංඥා විද්‍යාව, විද්‍යුත් විද්‍යාව යන විෂයන් පිලිබඳ අවධානය යොමු වේ.

              දුර ජය ගැනීම නව මාධ්‍ය භාවිතයේ ක්ෂණික ජයග්‍රහණයකි. නමුත් නව මාධ්‍ය භාවිතය සතු ඩිජිටල් අන්තර්ගතයන් ගැන බොහෝ දෙනා සතු නොදැනුවත්කම වේ. මේ නිසා නව මාධ්‍ය ගැන සමාජ කතිකාවත පුලුල් කල යුතු වේ.

             නව මාධ්‍ය සතුව ක්ෂණික බව, අවම වියදම, සන්නිවේදනයේ පහසුව,කාලය පිරිමැසුම වාසි වීම,අඩු කාලයකදී විශාල ප්‍රමාණයකට ආමන්ත්‍රණය කල හැකිවීම, රැහැන් රහිත මාධ්‍ය තාක්ෂණයේ වර්ධනය ඒතුල සුවිශේෂී ලක්ෂණ වේ

Sunday, July 21, 2019

‌හිතට memoවක්…

මෙච්චර අවුරුදු ගානක තනිකමක් එක්ක
ගෙන්දගම් පොලොවෙ උදේ හවස ඔහේ ඔට්ටුවෙන,
ලෙඩකට දුකකට එකෙක් ලඟ නැතුව
හැමදේම හංගන් තනියම දරාගන්න පුරුදු උන,
ගල් හිතක් එක්ක
උබ කොහොමද මල්ලි ආදරේ කරන්නෙ
තව එකෙක්ට සංවේදි නැති
තෙතමනයක් නැති වේලිච්ච
හිතකින් කොහොමද යකෝ
සෙනෙහසක් එන්නෙ
පිස්සු කෙලින්නෙ නැතුව
ඔය ඉන්න විදිහටම ඉඳල මැරිල පලයං,
තේරුම් ගන්න බැරි
ආදර මගුල්
හිතේ පටලගෙන
විඳවන්නෙ නැතුව

Saturday, July 20, 2019

ආදරේ විතරක් නොකර !


දුක සතුට අතරේ
කවි සිංදු මත්තෙන්
උනුහුම් කෝපි එක්ක
සිනහ කඳුළුත් අරන්
මතක ගොන්නක්
හුවමාරු කරන්
අපි…
ආදරේ විතරක් නොකර !

සොපීට බයේ තොවිල් නටන කන්දෙකුඹුර ගම

     සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත වැලිමඩ ...